FAST NEWS

24×7 Around the Globe

තවත් නායයෑමක අනතුරු ඇගවීමක් -බරපතළ තත්වයකුත් මතු වෙලා..

වරකාපොල නගරයේ කොළඹ – මහනුවර මාර්ගය අසල ඉදිකරනු ලැබූ වරකාපොල නව රෝහල් සංකීර්ණය මේ වන විට නායයෑමේ තර්ජනයට ලක්‌ වී ඇත.

ජපන් ජයිකා ආධාර යටතේ සබරගමුව පළාත් සභාවේ අධීක්‌ෂණය මත ඉදිකරනු ලැබූ නව රෝහල් සංකීර්ණයට රුපියල් කෝටි 900 ක මුදලක්‌ වැය කර ඇති අතර 2013 වර්ෂයේදී එකල රජයේ සෞඛ්‍ය ඇමැති ධුරය ඉසිලූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ඉදිකළ මෙම රෝහල් සංකීර්ණය මහල් 6 කින් හා නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන වූත් නේවාසික රෝගීන් 350 කට ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකියාව ඇත.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ කඳු පෙදෙසක අලංකාර අන්දමින් මෙම රෝහල් සංකීර්ණය ඉදිකර ඇති අතර, නිසි ප්‍රමිතියකින් තොරව කළ නිර්මාණයක්‌ බැවින් රෝහල් සංකීර්ණයේ බිම් පෙදෙස ඉරිතලා ගිලා බැසීමට ලක්‌ව ඇති බව ජනතාව පවසති.

පසුගියදා මෙම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ රෝහල් සංකීර්ණ භූමියේ ඇතැම් ස්‌ථාන ඉරිතලා පැලී ගොස්‌ නායයැමේ සලකුණු මතු වී ඇති අතර මෙම තත්ත්වය පිළිබඳව රෝහලේ පාලන අධිකාරිය විසින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, සබරගමු පළාත් සභාව, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඇතුළු ඊට අදාළ ආයතන ගණනාවකට දැනුම් දී ඇති නමුත් මේ වන විට කිසිදු බලධාරියකු මෙහි පැමිණ නැති බව දැන ගන්නට ඇත.

එසේම රෝහල් සංකීර්ණය අසල විදුලි ට්‍රාන්ස්‌පෝමරය ඉදිකර ඇති ස්‌ථානයද නායයැමට ලක්‌ වී ඇති අතර එයද බරපතළ තත්ත්වයක්‌ බව ඔවුහු පෙන්වා දෙති.