FAST NEWS

24×7 Around the Globe

සංචිතයට ආවත් මාලිංගට චැම්පියන්ස් ගහන්න බැරිලූ..? – තිලංගගේ කතාව මෙන්න..

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගි වීමේ තීරණය පුහුණු තරගවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

එම තරග වලදී ලසිත් මාලිංග ඕවර 10 යවන ආකරය අනුව ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මාලිංග සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රශ්නයක් නෑ. ඒත් ඔහු ඕවර 10 ක් යවන්න හොඳ තත්ත්වයක නෑ. ඔහු ඕවර තුනක් හෝ හතරක් යවන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඔහු අයි.පී.එල්. තරගාවලියට පිටත්ව යෑමට පෙර කිව්වා ඕවර 10 යවන්න තරම් ඔහු හොඳ තත්ත්වයේ ඉන්නවා කියලා”

“ඔහු මේ වන විට ඕවර 10 ක් යැවීමේ තත්ත්වයට පත්වෙමින් ඉන්නවා. අයි.පී.එල්. තරගාවලිය තුළ ඔහුට පුහුණුවීම්වලට හොඳ පරිසරයක් තිබෙනවා. ඒ දෙස අපි බලාගෙන ඉන්නවා” යැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.