FAST NEWS

24×7 Around the Globe

එක්වුනොත් රටක් ජාතියක් ලෙස අරමුණු දිනිය හැකියි – ඇමති රිෂාඩ්..

රජය සහ සමූපකාර ව්‍යාපාරය එක්ව වැඩ කරනවානම් රටක් ජාතියක් වශයෙන් ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් රට ඉදිරියට ගමන් කළ හැකි වන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ජාත්‍යන්තර සමූපකාර සමුළුව අමතමින් පැවසීය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය,

“ ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවක දී ම සමූපකාර ව්‍යාපාරය ජනතාව නගා සිටුවන්නත් ආර්ථිකය හා ව්‍යාපාරික ක්ෂේත්‍රය ස්ථාවරව තබාගන්නත් විශාල මෙහෙවරක් කළා. එමඟින් ස්ථිරසර සංවර්ධන අරමුණු ඔස්සේ මහජනතාවට උපකාර කළ හැකි වුණා. ශ්‍රී ලංකාවේ සමූපකාර අමාත්‍යවරයා ලෙස මා කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ දැන් වර්තමානය වනවිට ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් සැකසීමේ අවසාන අදියර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය ඉතාමත් කාලෝචිත අවස්ථාවක්. අපේ රටේ පළමු සමූපකාර සමිතිය ආරම්භ වූයේ 1906 දී මධ්‍යම පළාතේ දී. දශක ගණනාවක් පුරා සමාජ හා දේශපාලනික වෙනස්කම් සමග වර්තමානය වනවිට සමූපකාර ක්ෂේත්‍රය තවදුරටත් විකාශනය වූ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

මා කැමතියි මේ අවස්ථාවේ සඳහන් කිරීමට ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සැකසීම මගේ ප්‍රධාන වගකීමක් වන බවටත් අපි සියලු දෙනා පළාත් අමාත්‍යවරු සමූපකාර දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය මට්ටමේ සමූපකාර සේවා නියුක්තිකයන් මෙය සාක්ෂාත් කරගැනීමට උර දෙනවා. වර්තමානය වනවිට දකුණු ආසියාතික රටවල සංවර්ධන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වන්නේ ස්ත්‍රී පුරුෂ බාවයයි. අපිට පුළුවන් කාන්තා බලගැන්වීම් වැඩසටහන් සමූපකාර ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරවන්න. එවිට අප බලාපොරොත්තු වන ස්ථිරසාර අරමුණු කරා ළඟා විය හැකියි.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය කෘෂිකර්මාන්තය, පාරිභෝගික නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, කර්මාන්ත මූල්‍ය කාන්තා හා තරුණ කොටස් අතර ක්‍රියාකාරී වනවා. මේ සියල්ලට ම ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟාකිරීම සඳහා උදව් ලබාගත හැකියි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ උදව් උපකාර ඇතිව මගේ අමාත්‍යාංශය උත්සාහ කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම සමූපකාර පනත මඟින් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සමූපකාර 14,500ක් එකම පනතක් ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කරලීමට.

එමඟින් ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපරය මඟින් ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීමට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය මිලියන 21 පමණ වනවා. මෙයින් මිලියන අටක් පමණ ජනතාව රටේ කුමන හෝ සමූපකාර සංවිධානයක සාමාජිකයකු වනවා. එම නිසා මට සැකයක් නැහැ අද අපි මේ සමුළුවෙන් ලබාගන්නා අත්දැකීම් හෙට දිනයේ ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රය වඩාත් දියුණු කරන්නට මහෝපකාරී වේවි කියා. “ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ADS)