FAST NEWS

24×7 Around the Globe

පාසල් ගාස්තු ගෙවාගත නොහැකි නම් මෙන්න විසදුම..

සිය දරුවන් වෙනුවෙන් පාසල් ගාස්තු ගෙවාගත නොහැකි දෙමාපියන්ට ඒ වෙනුවට පශු සම්පතින් ගෙවිය හැකි බව සිම්බාබ්වේ අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ආණ්ඩුවට හිතවාදී ඩේලි මේල් පුවත්පතට මේ පිළිබඳ අදහස් දැක්වූ සිම්බාබ්වේ අධ්‍යාපන අමාත්‍ය ලාසරස් ඩොකොරා කියා සිටියේ දෙමාපියන්ගෙන් පාසල් ගාස්තු ඉල්ලීමේදී පාසල් නම්‍යශීලී විය යුතු අතර පාසල් ගාස්තු වශයෙන් පශු සම්පත් පමණක් නොව සේවා ද ලබාගත හැකි බවය.

“ප්‍රජාව තුළ ගොඩනැගිලි ඉදිකරන්නෙකු සිටීනම් පාසල් ගාස්තු ගෙවීමේ මාර්ගයක් වශයෙන් ඔහුට හෝ ඇයට සේවය ලබාදීම සඳහා අවස්ථාව දිය යුතුයි.” යැයිද අමාත්‍යවරයා පවසන ලදි.

මුදල් නෝට්ටුවලට හිලව්කිරීමක් ලෙස එළුවන්, ගවයන් සහ බැටළුවන් උපයෝගී කරගැනීමට ජනතාවට ඉඩ සළසමින් සිම්බාබ්වේ ආණ්ඩුව ගන්නා ලද පියවරෙන් අනතුරුව මේ තත්වය හටගැනුණි.

මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවේදී හඳුන්වා දුන් නීතියට අනුව ණය ඉල්ලුම්කරන්නන්ට ඇප වශයෙන් මෝටර් රථ මෙන්ම යන්ත්‍ර සුත්‍ර ද ජංගම වත්කම් ලෙස ලියාපදිංචි කළ හැක.

අන්තර්ජාල පුවත් අනුව, සිම්බාබ්වේහි පවතින මුදල් නෝට්ටු හිඟය හේතුවෙන් බැංකුවලින් මුදල් ආපසු ගැනීම සඳහා මිනිසුන් පැය ගණන් දිගු පෝලිම්වල රැදී සිටිති.

මුදල් රටින් පිටට ගෙනයාම නිසා එම හිඟය ඇතිවී තිබෙන බව එරට ආණ්ඩුව පවසතත් ආයෝජන නොමැතිවීම මෙන්ම රැකියා වියුක්තිය ඉහළ යාම මීට හේතුවී ඇති බව විචාරකයින් පෙන්වාදෙන්නේ යැයි Bulawayo24 අන්තර්ජාල පුවත් සේවය පවසයි.

(බීබීසී සංදේශය)