FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ගැනීමට අමාරු නීති මෙන්න..

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් තව තවත් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කළ බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.

නව වෙනස්කම් වලට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා  අයදුම් කිරීමට ඔබ ඔස්ට්‍රේලියාවේ වසර 4 ක අවම කාලයක් ස්ථිර පදිංචි කරුවෙකු ලෙස සිටිය යුතු අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බැලීමට ඉංග්‍රීසි පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ දැනුම  සහ අවබෝධය පරීක්ෂා කර බැලෙන බහුවරණ පරීක්ෂණය තුන් වතාවකට වඩා අසමත් වුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙන්වා දෙන්නේ විධිමත් ඔස්ට්‍රේලියානු සමාජයක් ගොඩනගමින් ශක්තිමත් ඔස්ට්‍රේලියාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවයි.

ඔස්ට්‍රේලියාවේ පවතින බහු සංස්කෘතිකත්ව සමාජය ලොවට පූර්වාදර්ශී උදාහරණයක් ලබා දෙන නමුත් එය සෑම විටම ඔස්ට්‍රේලියානු වටිනාකම් නිරූපණය කළ යුතු බවද අගමැති ටර්න්බුල් පවසයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සිදු කළ වෙනස්කම් පිළිබඳ පැහැදිලි කිරීමේදී මේ සියල්ලක්ම සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියානු වටිනාකම් පෙරමුණේ තබාගෙන බව ආගමන කටයුතු පිළිබද අමාත්‍ය Peter Dutton කියා සිටියි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ මව් රටවල සංස්කෘතියට සහ උරුමයට ඔස්ට්‍රේලියානු රජය සැම විටම ගෞරව කරනවා සේම එම පුද්ගලයින් ඔස්ට්‍රේලියාව තුළදී ඔස්ට්‍රේලියානු නීතියට සහ වටිනාකම් වලට අනුගත විය යුතු බවද ඔහු ප්‍රකාශ කරන ලදි.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේදී සිදු කිරීමට යන මෙම නව වෙනස්කම්වල මූලික අරමුණක් වන්නේ අදාළ අයදුම් කරුවන්ගේ ආකල්ප පරීක්ෂා කර ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට නියම සුදුස්සන්ද යන්න පරීක්ෂා කිරීම බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop චැනල් Nine පුවත් සේවයට පවසා තිබූ බව SBS පුවත් සේවය වාර්තා කර තිබුණි.