FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සැලසුමක්..

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මන්ත්‍රි කණ්ඩායමක් එම පක්ෂයේ තවදුරටත් රැඳී සිටිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බව වාර්තා වේ. විපක්ෂයේ අසුන්ගෙන කටයුතු කිරීමට අදහස් කරන මෙම මන්ත්‍රි කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අදහස් කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ ඒකාබද්ධ විපක්ෂය වශයෙන් පෙනී සිටිමින් විපක්ෂයේ අසුන්ගෙන කටයුතු කරමින් සිටින බැවින් ඒ අයුරින්ම එජාපයේ මෙම මන්ත්‍රි කණ්ඩායමද විපක්ෂයේ අසුන් ගෙන කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නඟා, පක්ෂයේ ගෞරවයත් පක්ෂයත් ආරක්ෂා වන අන්දමට කටයුතු කිරීමටත් මේ මන්ත්‍රි කණ්ඩායමේ අපේක්ෂාව වී ඇති බවද එම කණ්ඩායමේ නායකත්වය සඳහා අයකු තෝරා ගැනීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

විපක්ෂයේ අසුන් ගැනීමට අපේක්ෂා කරන මෙම මන්ත්‍රි කණ්ඩායම කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.