FAST NEWS

24×7 Around the Globe

පහ වසර සිසුන් පිරිසකගේ ඔළුවට වැටුන පාසල් ගොඩනැඟිලි වහළය…

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපේක්‌ෂිත පහ වසර සිසුන් පිරිසක්‌ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදී ඊයේ (30 ) පෙරවරුවේ මහනුවර සිරිමල්වත්ත විදුහලේ ගොඩනැඟිල්ලක වහළය කඩා වැටීමෙන් සිසුන් විසිදෙදෙනකු සහ ගුරුවරයකු තුවාල ලබා මහනුවර සහ යක්‌ගහපිටිය රෝහල් වෙත ඇතුළත් කෙරිණි.

පාසල් ගොඩනැඟිල්ලේ වහළ කඩා වැටෙන අවස්‌ථාවේ දරුවන් හතළිහකට අධික පිරිසක්‌ එහි වාර විභාගයට පිළිතුරු ලියමින් සිට ඇති අතර වහළයේ කොටසක්‌ කඩා වැටීමෙන් එක්‌ පන්තියකට පමණක්‌ හානි වී ඇති අයුරු දැක ගත හැකි විය.

අනතුර පරීක්‌ෂා කිරීමට එහි ගිය මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මෙවන් අනතුරක්‌ සිදු වීමට පෙර එය වළක්‌වා ගැනීමට කටයුතු නොකළේ මන්දැයි ප්‍රශ්න කර ඇති අතර මෙම පාසල වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් වේ.

මධ්‍යම පළාතේ පාසල් සංවර්ධනය සඳහා 2016 වසරට ලබා දී තිබූ මුදලින් රුපියල් මිලියන නවසිය හැත්තෑවක්‌ (970) හරවා යවා ඇති අතර, අවුරුදු ගණනාවක්‌ කිසිම අලුත්වැඩියාවක්‌ නොකළ පාසල් ගොඩනැඟිලි අතරට මෙම පාසල් ගොඩනැඟිල්ද අයත් වේ.