FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ලක්ෂ 8කට අධික පිරිසකට මානසික ලෙඩක්…

ශ්‍රී ලංකාවේ ජීවත් වන පුද්ගලයන්ගෙන් ලක්ෂ 8කට අධික පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන අතර එයින් වැඩිම පිරිසක් කාන්තාවන් බව ජාතික මානසික සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන ලදි.

ඇය මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති “ලෝක සෞඛ්‍ය දිනය – 2017” පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

මොළයේ ඇති වන රසායනික වෙනසක් නිසා විෂාදය නම් රෝගය ඇති වන අතර එම තත්ත්වය ඇති වීමට ජෛව සාධක, මනෝ සාධක, පාරිසරික සාධක හේතු වන බවත් මනසේ ඇති සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන ප්‍රධානම අංශ තුනටම මෙම රෝගය බලපාන බවත් ඇය පැවැසුවාය.

මෙම රෝගී තත්ත්වය වැළැක්වීමේ හැකියාව තිබුණද ජීවිතයට අපවාදයක්, කැළලක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට යොමු නොවී විෂාදය සඟවාගෙන බොහෝ දෙනකු ජීවත් වන බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් පහසුවෙන් මිදිය හැකි බවත් වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

මෙහි රෝග ලක්ෂණ වශයෙන් කුසගින්න නොදැනීම, බර අඩු වීම, වැඩිපුර නිදා ගැනීම, අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වීම, නිතර කෝපයට පත් වීම, හිසරදය ආදී විවිධ ලක්ෂණ පෙන්නුම් කරයි.

විෂාදය සාමාන්‍ය මට්ටමක පවතී නම් පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව පවතින බවත් මෙම තත්ත්වය වර්ධනය වුවහොත් අවසානයේදී පුද්ගලයා සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබෙන බවත් ඇය පැවැසුවාය.

විෂාදයට ගොදුරු වීම නිසා හෘද රෝග සහ පිළිකා සෑදීමේ අවදානම මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීමේ හැකියාවද ඇති විය හැකි බව ඇය වැඩිදුරටත් සදහන්කර සිටියාය.