FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යෑමට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කණ්ඩායම් 04 ක් සටනේ..

එංගලන්තයේ පැවැත්වීමට නියමීත 2019 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීම සඳහා ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් වන ශ්‍රී ලංකාව, පාකිස්‌තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර සිව්කොන් සටනක්‌ නිර්මාණය වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.

පවත්නා ක්‍රමවේදය අනුව 2017 සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ජාත්‍යන්තර එක්‌දින ශ්‍රේණියේ පළමු කණ්ඩායම් අට පමණක්‌ 2019 ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබන අතර අනෙක්‌ කණ්‌ඩායම් ද්විත්වය තේරීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයක්‌ පැවැත්වේ.

එහිදී ටෙස්‌ට්‌ වරම් අහිමි රටවල් කිහිපයක්‌ සමඟ ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් දෙකක්‌ අදාළ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි විමට නියමීතය.

අනතුරුව එම තරගාවලියේ අවසන් මහා තරග වරම දිනා ගන්නා කණ්‌ඩායම් දෙක ලෝක කුසලාන සඳහා තරග වදින කණ්‌ඩායම් දහයට ඇතුළත් වේ.

මෙම ක්‍රමවේදය ලෝක කුසලාන සහභාගිත්වය සඳහා ක්‍රියාත්මක කරන පළමු අවස්‌ථාව වන අතර මීට පෙර ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් දහය අනිවාර්යෙන්ම ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා ගත්හ.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නව සැලැස්‌ම අනූව එක්‌දින ශ්‍රේණියේ පළමු කණ්‌ඩායම් හත සහ සත්කාරකත්වය දරන රාජ්‍යය එක එල්ලයේම ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබයි.

කෙසේ වෙතත් මිළඟ ලෝක කුසලාන සත්කාරකත්වය දරන එංගලන්තය එක්‌දින ශ්‍රේණියේ පස්‌වැනි තැන පසුවීමෙන් පළමු කණ්‌ඩායම් අටට මේ සඳහා සුදුසුකම් ලැබීමේ අවස්‌ථාව නිර්මාණය වී තිබේ.

යම් හෙයකින් එංගලන්තය නව වැනි ස්‌ථානයට පත් වුවහොත් ලබන සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර එක්‌දින ශ්‍රේණියේ අට වැන්නාටද සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමට සිදුවේ.

බංග්ලාදේශය සමඟ දඹුල්ලේදී පැවැති පළමු එක්‌දින තරගය පරාජය වීමත් සමඟ එක්‌දින ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 98 ක්‌ හිමිව තිබූ ශ්‍රී ලංකාවට එක්‌ ලකුණක්‌ අහිමි වෙද්දී ප්‍රසාද ලකුණු 91 ක්‌ ලබා සිටි බංග්ලාදේශයට තවත් ප්‍රසාද ලකුණු දෙකක්‌ එක්‌ව තිබේ.

කෙසේ වෙතත් ලබන සෙනසුරාදා එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්‌දින තරගයේ තීරණය කුමක්‌ වුවත් ශ්‍රී ලංකාවට එක්‌දින ශ්‍රේණියේ හය වැනි ස්‌ථානය ස්‌ථාවර වන අතර බංග්ලාදේශය හත්වැනි ස්‌ථානය ස්‌ථාවර වේ.

යම් හෙයකින් බංග්ලාදේශය මෙම තරගාවලිය 3-0 ක්‌ ලෙස ජය ගත්තේ නම් දෙපිලම ප්‍රසාද ලකුණු 96 බැගින් ලබා ගනිමින් බංග්ලාදේශය හයවැනි තැනට පත්වීමට ඉඩ තබුණි.

එහෙත් දඹුල්ලේ පැවැති දෙවැනි තරගය වැස්‌සට සේදී යැම හේතුවෙන් එම අවදානම ශ්‍රී ලංකාවෙන් දුරස්‌ වී ඇති අතර ඔවුන් එස්‌. එස්‌. සී. තරගය ජයගතහොත් යළිත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 98 දක්‌වා වැඩි කර ගැනීමේ අවස්‌ථාවක්‌ පවතී.

කෙසේ වෙතත් එක්‌දින ශ්‍රේණියේ අටවැනි ස්‌ථානයේ සිටින පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව්න් පෙරළිකාර කණ්‌ඩායම් බැවින් ලබන අප්‍රේල් මස එම කණ්‌ඩායම් දෙක එක්‌දින තරග තුනකට සහභාගි වේ.

එම තරගාවලිය පකිස්‌තානය 3-0 ක්‌ ලෙස ජය ගතහොත් එක්‌දින ශ්‍රේණියේ හත්වැනි තැනට පත්වන අතර බංග්ලාදේශය අටවැනි තැනට පත්වේ. අනතුරුව කොදෙව්වන් ලබන සැප්තැම්බර් මස 30 ට පෙර එංගලන්තය සමඟද තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියකට සහභාගි වේ. එම තරගාවලි දෙක ජය ගතහොත් කොදෙව්වන්ටද ප්‍රධාන කණ්‌ඩායම් අට අතරට එක්‌වීමේ හැකියාව තිබේ.

ලබන ජුනි මස එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේදී වත්මන් ශ්‍රේණිගත කිරීම්වල සිටින ප්‍රධාන කණ්‌ඩායම් අට මූලික වටයේ තරග තුනකට සහභාගි වේ. එම තරගාවලියද ශ්‍රේණිගත කිරීම් සඳහා තීරණාත්මක සාධකයක්‌ වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බංග්ලාදේශ තරගාවලියෙන් පසුව චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය, ඉන්දියාව සමඟ එක්‌දින තරග පහකට සහ සිම්බාබ්වේ සමඟ එක්‌දින තරග තුනකට සහභාගි වීමේ අවස්‌ථාව හිමිව තිබීමෙන් පළමු කණ්‌ඩායම් අට තුළ ස්‌ථාවර වීමේ හැකියාවක්‌ පවතින නමුත් ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ඇද වැටුණහොත් ශ්‍රේණිගත කිරීමේ නව වැනි ස්‌ථානයට වැටීමේ අවදානමක්‌ පවතී.

(ADS)