FAST NEWS

24×7 Around the Globe

ජපන් යන රටවල් 5ක සිසුන්ට දැඩි වීසා නීතිරීති- රටවල් මෙන්න..

ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ.

ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ.

මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, නේපාලය, චීනය, වියට්නාමය හා බුරුමය යන රටවල සිසුන් වෙත මෙම නියාමනයන් බලපානු ඇත.

මෙහිදී වීසා අයදුම් කිරීමේ දී සිය මූල්‍ය ශක්‍යතාවය තහවුරු කිරීම පිණිස වැඩි සාක්ෂ්‍ය ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අදාළ රටවල සිසුන් හට සිදුවන අතර එහිදී සිය බැංකු ගිණුම්වල හර බැර වාර්තා පෙරට වඩා දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බව ජපානයේ ආගමන කාර්යාංශය සඳහන් කර සිටියි.

මේ වන විට ඉහත සඳහන් රටවල්වලට අමතරව මොංගෝලියාව හා බංග්ලාදේශය යන රටවල සිසුන් හට ද ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීමේ නියාමනයන් දැනටමත් තර කර තිබේ.