රටේ වත්මන් දේශපාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට අද වනවිට පත්ව ඇති බව පැවසූහ.
උන්වහන්සේ ඒ බව කියා සිටියේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් ඊයේ (13) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කරන ලද සුපිරිසිදු දේශපාලනයක් සඳහා පුරවැසි මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.
පාර්ලිමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය ද උන්වහන්සේ ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
“හැමදාම මේකේ ගහගන්නවා, බැණ ගන්නවා, කුණුහරප කියා ගන්නවා, අද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය එහෙම්පිටින්ම නැති වෙලා ගියා. ඇයි මෙහෙම අය තෝරලා පාර්ලිමේන්තුවට යවන්නේ, අපිට මොකද වුනේ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව පැවසූ බෙල්ලන්විල විමලරතන හිමියන් තවත් දේශපාලන පක්ෂ 100 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දුන්නේය.
“ලංකාව ලෝකෙට විහිළු සපයන රටක්. මේ පුංචි රටේ පක්ෂ මෙච්චර ලියාපදිංචි කරන්න ඉල්ලනවා කියන්නේ මොන විහිළුවක්ද?” උන්වහන්සේ ප්‍රශ්න කළහ.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් ආයතනවල ක්‍රියාකාරිත්වය ඇණහිට ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ මේ වසරේදීත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව කියා සිටියහ.
“මට සාත්තර කියන්න බැහැ. මම සාත්තර විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේ අවුරුද්දෙත් ඒක වෙන්නේ නැහැ” යනුවෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.