මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇති බවඑජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෙම මස මැද භාගයේ දී ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සූදානමින් පසු වූ බව ද වාර්තා විය.
මුදල් ඇමැති ධුරය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට පසුගියදා අගමැතිවරයාගේ ද එකඟතාව ලැබී ඇතැයි පැවසේ.
කෙසේ නමුත් තමාව මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා, එජාප නායකත්වය වෙත විරෝධය ප්‍රකාශ කර ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරයට පෙර දින ඔහු ජනාධිපතිවරයා හමුවී තමාගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති බව ද දැන ගැනීමට ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කෙරුණු වාර්තාවෙන් විදේශ සංචිත කඩා වැටීම, වැඩි වශයෙන් ණය ගැනීම, අපනයනයන් අඩු වීම, නිවැරැදි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපොහොසත් වීම, අනෙක් ඇමැතිවරුන්ගේ විෂය පථයට අයත් ආයතනයන් මුදල් අමාත්‍යාංශයේ අණසකට යටත් කර ගැනීමට නිරන්තරයෙන් දරනු ලබන වෑයම, පිළිගත් මූල්‍ය නීති රීතිවලට එපිටින් ගොස් ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් වෙත වැඩි වශයෙන් සැලකීමට යාම ආදී චෝදනා රැසක් ඔහු වෙත එල්ල වී තිබුණද ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බැන්කර්“ සගරාව විසින් මෙවර නම් කර ඇත්තේ රවීකරුණානායක මහතාවය.
මෙම ඇමති ධුරයට ඇමැති චම්පික රණවක මහතාගේ ද නම යෝජනා වී තිබිණ නමුත් ඔහු ඊට අකැමැති වීමත් එජාපයේ ජ්‍යෙෂ්ඨයන් විසින් තම පක්ෂයට හිමි මෙම ඇමැති ධුරයට එජාපයේම අයකු නම් කළ යුතු බවට එල්ල කළ බලපෑමත් මත මංගල සමරවීර මහතාගෙන් එම ඉල්ලීම සිදු කර තිබේ.
එහෙත් තමන්ගේ ගෙදර බජට් එකවත් හරියට හදා ගන්න බැරි මට රටේ බජට් එක හදන්න නොහැකි බව කියමින් සමරවීර මහතා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා එජාපයේ සභාපති මලික් සමරවික්‍රම මහතා, සමරවීර මහතා හමුවේ පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු ගාණක් මුදල් ඇමැතිකම කළා නම් මංගල සමරවීර මහතාට ඒ ඉටු කිරීමේ කිසිදු අසීරුතාවක් නොමැති බවය.
එහෙත් ඒ සදහා සමරවීර මහතාගේ එකඟත්වයක් මෙතෙක් ලැබී නොමැති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ ඉතා කෙටි කලක් සමරවීර මහතා නියෝජ්‍ය මුදල් ඇමැති තනතුර හොබවා ඇත.