ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව සංගණනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සිදු කිරීමෙන් පසු ලියාපදිංචිය පිළිබද තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය.
සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දී පසුගියදා පැවැති අතර එම රැස්වීමට සහභාගි වූ ඖෂධ ශාලා හිමියන් පැවැසුවේ සෑම නගරයකම නව ෆාමසි විවෘත කිරිම හේතුවෙන් වෙළෙද ව්‍යාපාරවලට බාධා පැමිණ ඇති බවයි.
ඇතැම් ෆාමසි වල ඖෂධවේදීන් ද නොමැති බව මෙහිදී ප්‍රකාශ වූ අතර ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සෑම ෆාමසියකම එක් ඖෂධවේදියෙකු හෝ සිටිය යුතු බවයි.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.