FAST NEWS

24×7 Around the Globe

‘මම අභියෝග කරනව.. පුළුවන් නම් නඩු දාන්න’ -කට්ටියක් අභියෝගය භාරගත්තේ මෙහෙමයි….

”ඇයි බයවෙන්නේ මම මේ දහ වැනි වතාවට අභියෝග කරන්නේ.. අපේ ආණ්ඩුවෙන් මොකක් හරි වෙලා තියෙනවනම් උසාවියට යන්න. මේවා නිවාඩ් කබ්රාල්ලාගේ කාලේ නැති කරලා ඇති කරපු දෙයක්. ඉතින් මම  අහන්නේ මහින්ද රාජපක්ෂගෙන්, හන්දි ගානේ පන්සල් ගානේ කතාකරන්නේ නැතුව ඇයි  උසාවියට එන්නේ නැත්තේ ”

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවිය මුදා හැරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේ මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

එයට පිළිතුරු ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(03) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අදාළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය  නඩු රැසක් පැවරීමට බලාපොරොත්තු වන බව පැවැසීය.

මුදල් අමාත්‍යවරයා කරුණු 8 කින් යුතු ප්‍රසිද්ධ නිවේදනයක් මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් වශයෙන් නිකුත් කර, මහබැංකු බැඳුම්කර සිද්ධියට හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ බව පවසා ඇතැයි ද ඒ සියල්ල සම්පූර්ණ අසත්‍යයක් යැයිද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන ආකාරයට එය මුදල් අමත්‍යංශයේ නිවේදනයක් නොවන අතර එය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාය.

එහි වගකීම සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන නිසා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ මුදල් අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.