FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනයේ වාහන අවභාවිතය ගැන කරුණු 4ක් යටතේ පරීක්ෂණයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරන ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ කරුණු 4 ක් මත පදනම්ව අදාළ වාහනවල විස්තර ඇමණුම් ඉදිරිපත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය.

එලෙස වාහන අවභාවිතාවක් සිදුවී ඇතිදැයි යන්න සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ කමිටුව තීරණය කර ඇත්තේ ක්‍රිකට් ආයතනය සතු වාහන 9 ක් පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීමටය.

එම පරීක්ෂණයට අදාලව ක්‍රීඩා අමාත්‍යාංශයේ පාලන හා ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත යොමුකර තිබේ.

මේ ලිපියේ සදහන් වන්නේ ක්‍රිකට් ආයතනයේ දැනට භාවිත කෙරෙන වාහන වර්ග, වාහන අංක මෙන්ම ඒවා භාවිත කරන පුද්ගලයින් සහ ඊට අනුමැතිය ලබාදී ඇති නිලධාරීන් පිළිබඳ තොරතුරු කරුණු 4 ක් යටතේ ඉදිරිපත් කරන ලෙසය.