FAST NEWS

24×7 Around the Globe

විදේශිකයෝ සීගිරි ගල නොනැග සීගිරිය වටේ යයි- හේතූන් මෙන්න…

සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් අයකරන ප්‍රවේශපත් ගාස්තුව බෙහෙවින් ඉහළ බව බොහෝ විදේශ සංචාරකයෝ ප්‍රකාශ කරති.

සීගිරිය නැරඹීම සඳහා එක් විදේශීය සංචාරකයෙකුගෙන් ප්‍රවේශපත් ගාස්තු වශයෙන් ඩොලර් 30 මුදලක් (ලංකා මුදලින් රුපියල් 4530.00ක් පමණ) අය කරන බව සඳහන් කරන ඔවුහු එය දේශීය සංචාරකයන්ගෙන් අය කරන රුපියල් 50.00ක ගාස්තුව හා සැසදීමේදී, බෙහෙවින් අසාධාරණ බව පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව නැරඹීමට එන විදේශීය සංචාරකයන් බහුතරයක් ධන කුවේරයන් නොවන බව සඳහන් කරන මොවුහු, මෙරටෙහි පිහිටි කිසිදු ලෝක උරුම පෞරාණික ස්ථානයක, විදෙස් සංචාරකයන්ගෙන් මෙවන් ඉහළ ප්‍රවේශපත් ගාස්තුවක් අය නොකරන බව මේ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වන බවද කියති.

මෙවැනි ඉහළ ප්‍රවේශපත් ගාස්තුවක් අයකරනු ලැබූවද ඊට සරිලන පහසුකම් සැපයීමට හෝ අඩු තරමින් වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නිසි පරිදි සපයාදීමට බලධාරීන් අ‍පොහොසත් වීම කනගාටුවට කරුණක් බවත් හා සීගිරිය නැරඹීමට යාමේදී සංචාරක මග පෙන්වන්නන් හට තවත් අමතර ගාස්තුවක්ද ගෙවීමට සිදුවී තිබෙන අතර එහිදී ආහාරපාන සපයා ගැනීමේදීද විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඔවුහු පවසති.

මේ හේතුව මත සීගිරිය නැරඹීමට පැමිණෙන බොහෝ විදෙස් සංචාරක පිරිස්, සීගිරි ගලට නොනැග සීගිරිය ගල වටේ දිය අගල් හා අවට පරිසරය නරඹා සීගිරියෙන් පිටව යන බව මේ පිළිබඳව අදහස් දක්වන සීගිරියේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් ප්‍රකාශ කරති.