වසරකට පමණ පමණ පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී ටෙස්ට් තරග සඳහාද යොදා ගැනීමට හැකිවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මාධ්‍ය වෙත පැවසීය.
ඕස්ට්‍රේලියාව සමඟ පැවැති විස්සයි -20 තරගාවලිය සාර්ථකව අවසන් කර පසුගියදා මවුබිමට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙ බව සඳහන් කළේය.
මාලිංගගේ නැවත පැමිණීම කණ්ඩායමට විශාල ශක්තියක් වූ බවත්, ඉදිරියේදී ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි -20 යන ආකෘතීන් සියල්ලම ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවන බවත් ග්‍රැහැම් ෆෝඩ් මෙහිදි පැවැසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆෝඩ් මහතා “මාලිංගගේ නැවත පැමිණීම කණ්ඩායමට විශාල ශක්තියක් වුණා. මම උත්සහ කරනව ඔහුව නැවතත් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සඳහා පෙලඹවීමට. නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදී මාලිංග ක්‍රීඩා කළ ආකාරය ඉතා ඉහළ තලයක තිබුණ. අපි දැක්ක මාලිංග තමන්ගෙ පන්දු යැවීමේ දක්ෂතා වර්ධනය කරගෙන තියෙනව වගේම, ඔහුගේ කායික ශක්තියත් ඉහළ තත්ත්වයක තිබූ බව. උදාහරණයක් විදියට මාලිංග පන්දු රැකීමේදී පවා කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. පන්දු පසු පස ලුහුබැඳ යෑමේදී, පන්දුව නැවත භාර දීමේදී සහ පන්දු නතර කර ගැනීම සඳහා මාලිංග ගත් උත්සාහයන් යොවුන් ක්‍රීඩකයන්ටත් ආදර්ශයක් වූවා නොඅනුමානයි” යනුවෙන්ද පැවැසීය.
ලසිත් මාලිංග 2010 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ එවකට ඔහුගේ පාදයේ ඇතිව තිබූ ආබාධයයි.
එසේම මෙහිදි මාධ්‍ය හමුවට එක්වූ ලසිත් මාලිංග අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මම දන්නව මම තාම මගේ ඉහළම දක්ෂතා අතරට පැමිණ නැති බව. නමුත් මම දිනෙන් දින මගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්නවා. මට නැවතත් අවස්ථාවක් ලැබුණොත් මම එය හොඳින් ප්‍රයෝජනයට අරන් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දෙනවා” බවය.