FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ජයග්‍රහණය හා අසේල ගැන සංගා හඬ අවදි කරයි..

ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් අත් කර දෙමින් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි විස්සයි -20 තරගයේදී, ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී මෙතෙක් දක්වා ඇති ඉහළම දස්කම් දැක්වීමට සමත්වූ බව හිටපු නායක කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ අසේල ගුණරත්න ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවැති බව පවසන සංගක්කාර දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කරමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී මූලිකත්වය ගත් අසේල ගුණරත්නගේ පිති ප්‍රහාරය අද්විතීය බවද වැඩිදුරටත් පවසයි.

එම තරගයේදී ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම ඉනිමේ 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වනවිට ලකුණු 40කට කඩුලු 5ක් දැවී ඉතා අසීරු අඩියක පසුවූ අතර අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි අසේල ගුණරත්න පන්දු 46කදී නොදැවී ලකුණු 84ක් රැස් කරමින් පරාජය පෙනි පෙනී තිබූ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දීම සඳහා මූලිකත්වය ගත්තේය.