FAST NEWS

24×7 Around the Globe

සහල් සම්බන්ධ වංචනික ක්‍රියා පැමීණිලි කරන්න අංකයක්..

සහල් තොග සඟවා තබා ගැනීම, රජය නියම කළ පාලන මිලට වඩා වැඩි මිලට විකිණීම සහ රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම ආදී වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1977 අංකයට දැනුම් දෙන ලෙස කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී  පැවසීය.

එම දුරකථන අංකය පෙරවරු 7 සිට රාත්‍රී 10 දක්වා විවෘත බවත් හෙතෙම සඳහන් කළේය.

දැනට මිල නියම කර ඇති පරිදි ආනයනික නාඩු කිලෝවක් රුපියල් 72, දේශීය නාඩු රුපියල් 80, ආනයනික කැකුළු රුපියල් 70, දේශීය කැකුළු රුපියල් 78, ආනයනික සම්බා රුපියල් 80 හා දේශීය සම්බා රුපියල් 90 යන පාලන මිලට පවතින බවත්  ඒ මහතා පෙන්වා දුනි.

මේ අතර රට තුළ සහල් අර්බුදයක් ඇතිවීමට හේතුව සහල් ව්‍යාපාරිකයින්  සහ ආණ්ඩු විරෝධීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් බව ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම සහල් මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

කැබිනට් අනුමැතිය මත සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 02ක් ගෙන්වීමට තීරණය කළ ද ගොවීන්ගේ ඉල්ලීම මත එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 86,000කට සීමා කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩා කර තබා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.