FAST NEWS

24×7 Around the Globe

11කට මරු කැදවූ බෝට්ටුව ගැන සියැසින් දුටු සාක්ෂිය මෙන්න…

බේරුවල පල්ලියේ මංගල්‍යය නිමවී මුහුදු මගින් කළුතර පල්ලිය වන්දනා කරන්නට පැමිණි බැතිමතුන් පිරිසක් රැගත් බෝට්ටුවක් ඊයේ (19) දහවල් පෙරළී එකොළොස් දෙනෙකු මියයන ලදි.

මෙම බෝට්ටුවේ කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු 40 කට අධික පිරිසක් ගමන්කර ඇතැයිද, මෙම බහුදින යාත්‍රාවක ගමන් කළ හැකිවන්නේ දළ වශයෙන් පුද්ගලයින් 35 කට පමණ පිරිසකට පමණක් බවද බේරුවල ධීවර වරායේ ධීවරයෝ පෙන්වා දෙනු ලැබීය.

බෝට්ටුව ඇලවී සම්පූර්ණයෙන්ම මුහුදට පෙරළී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සියැසින් දුටු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බළගණ නායක විමල් කරුණාරත්න මාධ්‍යට සඳහන් කලේ මෙම බෝට්ටුව ගමනට සූදානම් කර තිබූ බෝට්ටුවක් නොවන බවයි.

“මේ බෝට්ටුව ගමනට සූදානම් කරලා තිබුණු බෝට්ටුවක් ‍නෙවෙයි. ඒ බෝට්ටුවට අන්තිම මොහොතේ බැතිමතුන් පුරවාගන්නා හැටි අපි දැක්කා. බෝට්ටුවේ ඉදිරි කොටස ඉස්සිලා තිබුණේ. එහෙම වෙන්නේ බෝට්ටුවේ බර සමතුලිත කරගන්න බර යොදලා නැති වුණාමයි.

සාමාන්‍යයෙන් වතුර බූලි එහෙම බර අඩු පැත්තට පුරවලා තමයි බෝට්ටුවක් සමතුලිත කරන්නේ. ඒ නිසා අනිත් බෝට්ටුවල ආපු අය මේ අනතුරුදායක තත්ත්වය ගැනත් කතා වුණා. එහෙම කතාවෙලා වැඩි වෙලාවක් ගියේ නෑ, බෝට්ටුව පෙරළුණා” යැයි ඔහු සඳහන් කලේය.