FAST NEWS

24×7 Around the Globe

තරගය අතරතුර විනිසුරු මයික් මාලිංගගේ සාක්කුව බලයි…

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි-20 ක්‍රිකට් තරගය පසුගිය සිකුරාදා (17) වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වෙන අතරතුර විනිසුරුවරයා විසින් වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ සාක්කුව හදිසියේ පරීක්ෂා කළේය.

ඔස්ට්‍රේලියානු ඉනිම අතරතුර 17 වැනි පන්දුවාරයේදී මාලිංග විසින් සාක්කුවේ දමාගෙන සිටි යමක් පිටතට ගෙන යළි සාක්කුව තුළට දැමීම නිසා ක්‍රිකට් විනිසුරු මයික් මාර්ටල් ඔහු වෙත පැමිණ සාක්කුවේ තිබෙන්නේ මොනවාදැයි ප්‍රශ්න කර තිබේ.

මාලිංග විසින් වරින්වර සාක්කුවට අත දමන්නේ දෑත් උණුසුම් කරන උපකරණයක් ඔහුගේ සාක්කුවේ රඳවාගෙන සිටින නිසා බවට එම අවස්ථාවේදී ක්‍රිකට් විචාරයේ යෙදුණු මයිකල් ක්ලාක් විසින් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළේය.

“ඔහු සාමාන්‍යයෙන් අත් උණුසුම්කරණයක් ඔහුගේ සාක්කුවේ රඳවාගෙන සිටිනවා. මේ අවස්ථාවේ මෙහි පවතින අධික සීතල නිසා විය යුතුයි” ක්‍රිකට් විචාරණය අතරතුර ක්ලාක් පැවැසීය.

“ඔව් ඔහු පන්දුව යවන්නට කලින් උණුසුම්කරණය ගෙන තමන්ගේ අතේ ඇඟිලි උණුසුම් කරගත්තා.”

“ඔව් එය නීත්‍යනුකූලයි. ඉතින් හැමෝම හිතනවා ඇති ඇයි ඔහු එය තමන්ගේ අත් සාක්කුවේ දමාගෙන ඉන්නේ කියලා.” යැයි ක්ලාක් සිය ක්‍රිකට් විචාරය අතරතුර වරින් වර පැවැසීය.

ක්‍රිකට් විනිසුරුවරයාගේ ප්‍රශ්න කිරීම හමුවේ මාලිංග තම සාක්කුවේ තිබූ සුදු පැහැති අත් උණුසුම්කරණ උපකරණය විනිසුරු මාර්ටල්ට පෙන්වූ අතර ඉන්පසුව පන්දුව මාර්ටල් විසින් ඔහුට දුන් පසුව නැවතත් තරගය ආරම්භ විය.