FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලාවට CNN එපා වෙලා – හෙළි වූ හේතුව මෙන්න…

 

ඇමෙරිකාවේ සී එන් එන් පුවත් සේවයේ ස්පාඤ්ඤ බසින් සිදුකෙරෙන නාලිකාවේ විකාශන කටයුතු වහාම නවතා දමන ලෙස වෙනිසියුලානු බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම රූපවාහිනි නාලිකාව විසින් වෙනිසියුලාවේ සාමය හා ප්‍රජාතාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළීමට උත්සහ කර ඇතැයි චෝදනා කරමින් එරට විදුලි සංදේශ කොමිසම විසින් මෙම නියෝගය සිදුකර තිබේ.

ඉරාකයේ පිහිටි වෙනිසියුලානු තානාපති කාර්යාලයේ සිදුවූ බවට පැවසෙන විදේශ ගමන් බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් සී එන් එන් පුවත් සේවය විකාශය කළ වාර්තාවක් මීට හේතුවී ඇතැයි පැවසෙතත්, හේතුව මෙය බව එරට විදුලි සංදේශ කොමිසම නිශ්චිත ලෙසම ප්‍රකාශ කර නොමැත.

මෙම පුවත් වාර්තාව විකාශය කර තිබුනේ වසරක පමණ ගවේෂණයකින් පසුව වන අතර, ඉරාකයේ විවිධ පුද්ගලයන්ට වෙනිසියුලානු විදේශ ගමන් බලපත්‍ර හා වීසා බලපත්‍ර මුදල් වලට විකුණා ඇති බවට එල්ල වී තිබුණු චෝදනා පිළිබඳව මෙම ගවේෂණයෙන් සොයාබලා තිබුණි.

මෙලෙස මෙම ලියකියවිලි ලබාගෙන තිබෙන ඇතැම් පුද්ගලයන් ත්‍රස්ත කණ්ඩායම් සමග ද සබඳතා ඇතැයි පැවසෙන අතර මෙම ගණුදෙනුවට වෙනිසියුලානු උප ජනාධිපති ටරෙක් එල් අයිසාමි සෘජුව සම්බන්ධ වී ඇතැයිද මෙම පුවත් වාර්තාවෙන් චෝදනා නගා තිබුණි.