FAST NEWS

24×7 Around the Globe

මහින්ද දිනවූ නාලිකාවකට ගෙවීම් කරල නෑ – හෙළි වුන හැටි මෙන්න…

 

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජාතික රූපවාහිනිය ලබාදුන් ප්‍රචාරණයන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 1256 ක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවකට අපේක්‍ෂකයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික රූපවාහිනියට ලබා දුන් වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම නිසා ජාතික රූපවාහිනියට සිදු වූ අලාභයද මීට ඇතුළත් වන බව ජනාධිපති කොමිසම පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබිය යුතුව තිබූ රුපියල් මිලියන 1500 කට ආසන්න මුදලක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මීට ඉහත දී විමර්ශනයක්‌ ක්‍රියාත්මක කර තිබිණි.

එම විමර්ශනයේ වාර්තාවන් මේ වන විට නීතිපති උපදෙස්‌ ලබා ගැනීම සඳහා රජයේ නීතිපතිවරයා වෙත භාර දී ඇති බව ද ජනාධිපති කොමිසම පවසන ලදි.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා වෙළෙඳ දැන්වීම් ටෙලි නාට්‍ය ප්‍රචාරක වැඩසටහන් ඇතුළු තවත් ප්‍රචාරක කටයුතු රැසක්‌ ජාතික රූපවාහිනිය විසින් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා අයවිය යුතු මුදල්වලින් වැඩි කොටසක්‌ මේ වන තුරුත් ගෙවා නොමැති බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඇමැතිවරයා මෙන්ම රූපවාහිනියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගෙන්ම ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.