FAST NEWS

24×7 Around the Globe

සිරිපා වන්දනාවේ මග දෙපස කෑම වලට පාලන මිල හැදෙන හැටී…

 

ශ්‍රී පාද වන්දනාවේ රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් යන බැතිමතුන්ට මාර්ගය දෙපස ඇති වෙළඳසල් වල ආහාරපාන විකිණිය හැකි උපරිම මිල ගණන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්. කෝට්ටේවත්ත විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරිය මගින් ටෙන්ඩර් කැඳවා ලබා දුන් රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගය දෙපස ඇති කඩ සම්බන්ධයෙන් මෙම මිල නියාමනය අදාල වේ.

ශ්‍රී පලාබද්දල සිට ශ්‍රී පාද මළුව දක්වා උස්වන භූවිෂමතාවයට අනුව මෙම මිල වැඩි කිරීමට වෙළඳුන්ට අවකාශ හිමිවන මුත් එසේ වැඩි කළ යුතු මිල නියමිත මිලෙන් 50% උපරිමයකට යටත් වේ.

එම මිල නියාමනයට අනුව රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ මුහුදු මට්ටමින් අඩි පන්දහසකට වඩා ඉහළින් පිහිටි මැල්ල මල කඳුර ප්‍රදේශයේ දී ව්‍යංජන තුනක් බැදපු මිරිස් කරලක් සහ පපඩම්ද සමඟ බත් පිඟානක් රුපියල් එකසිය පනහකට ලබා ගත හැකි විය යුතුය.

මෙම මිල ගණන් පිළිබඳ නියාමනය පාරිභෝගික සේවා අධිකාරිය මගින් නිරතුරු අධීක්ෂණය කෙරෙන බවත් ඉහත සඳහන් මිල ගණන්වල කිසියම් විෂමතාවයක් ඇතොත් 0770106600 ජංගම දුරකථනයෙන් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත්කරන ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධානී ජනක ප්‍රසාද් පවසන ලදි.

01