FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෙඩිල්ල හා ආණ්ඩුව ගැන අනුරගෙන් ප්‍රකාශයක්…

 

සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් නොකරනතාක් කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(08) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු රජයේ අමාත්‍යවරුන් මාධ්‍යයට කරන ප්‍රකාශ මගින් ඇඟවීමට උත්සාහ දරන්නේ වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස සයිටම් ආයතනයට එරෙහිව කටයුතු කරන ව්‍යාපාර සහ සංවිධාන සිටිය හැකි බවට බවද ඔහු චෝදනා කළේය.

ආණ්ඩුවේ හැසිරීමත්, සයිටම් ආයතනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බලවේගවල ප්‍රකාශනත් සලකා බැලූ කල වෙඩි තැබීම සයිටම් ආයතනයට එරෙහි දේශපාලන ව්‍යාපාර, සිසු ව්‍යාපාර, බහුජන ව්‍යාපාර  වෙත පැටවීම සදහා දරන උත්සාහයක් ඇති බවට ද මන්ත්‍රීවරයා  සදහන් කළේය.

“අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය වැනි ක්‍රියාවල වග උත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා,” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.