FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය රියදුරන්ට ගැමුණුගෙන් ඉඩක්…

 

මගී ප්‍රවාහන බස් රියැදුරු හිඟයක් පවතින බැවින් ඉන්දියාවෙන් රියැදුරන් ගෙන්විය යුතු බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රියැදුරු හිඟයක් පවතින අතර අධික මාර්ග තදබදය නිසා මගී ප්‍රවාහනයට රියැදුරන් දක්වන මැළිකම මෙයට ප්‍රධාන හේතුව බවයි.

බොහෝ පෞද්ගලික බස් රියැදුරන් දෛනික වේතනයට සේවය කරන නිසා ගමන් වාර ගණනට වැටුප අඩුවැඩි වන අතරම මාර්ග තදබදය හේතුවෙන් දෛනික ගමන් වාර ගණන අඩුවීමෙන් වැටුපද අඩුවන නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ වනවිට මෙරට පෞද්ගලික ආයතන බොහොමයක ඉන්දියානුවන් රැකියාවල නියුතුව සිටින අතර මේ නිසා රියැදුරන් ගෙන්වීම පිළිබඳව රජය සමග සාකච්ඡා කිරීමට අදහස් කරගෙන සිටින බවද එසේ පැමිණෙන ඉන්දියානු රියැදුරන් ශ්‍රී ලංගම මගින් පුහුණුකර රැකියා සඳහා යොමුකළ හැකි බවටද ඔහු අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ගැමුණුගේ යෝජනාවට අනුව ඉන්දියාවෙන් රියැදුරන් ආයතන කිරීමට රජය පියවර ගතහොත් පෞද්ගලික මගී ප්‍රවාහන අංශයේ සේවකයන් ලක්ෂයක් සමග ඊට එරෙහිව පාරට බසින බවය.

එසේම ශ්‍රීලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රියැදුරු පුහුණුව ලබාදෙන්නේ මණ්ඩලයට අවශ්‍ය රියැදුරු පුරප්පාඩු සපුරාලීමට පමණක් වන අතර පුද්ගලික අංශයට රියැදුරන් පුහුණු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ශ්‍රීලංගමට නොමැති බවයි.