FAST NEWS

24×7 Around the Globe

ICC විනිසුරු තීරණය සමග එන සුපිරි පන්දුවාරය මෙන්න…

 

සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා විනිසුරු තීරණය නැවත විමසීමේ ක්‍රමවේදය භාවිතා කිරීමට අයි.සී.සී. විධායක නිලධාරීන්ගේ කමිටු රැස්වීමේදී එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම එකඟතාවය ඇතුළත් යෝජනාව ලබන ජූනි මාසයේදී සම්මත කර ගැනීමට නියමිත බව අයි.සී.සී.ය නිවේදනය කර ඇති නමුත් මීට පෙර මෙම ක්‍රමවේදයට ඉන්දියාව සිය විරෝධය පළ කර තිබුණි.

මේ අනුව 20-20 තරග සඳහාද විනිසුරු තීරණය නැවත විමසීමට එක් අවස්ථාවක් හිමිවන අතර ඒ අනුව එළැඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලියටද මෙය ඇතුළත් කර තිබේ.

මේ අතර එක්දින තරග සඳහා සුපිරි පන්දුවාරය හඳුන්වා දීමටද තීරණය වී ඇති අතර  ඒ අනුව ලකුණු සමවන සෑම තරගයකම ප්‍රතිඵලය මීට පසු සුපිරි පන්දුවාරයෙන් තීරණය වෙයි.

මෙම නීතිය එළැඹෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ක්‍රියාත්මක වෙයි.

මේ අතර වසර 2 ක ටෙස්ට් ක්‍රිකට් ලීගයක් සහ කණ්ඩායම් 13 ක එක්දින ක්‍රිකට් ලීගයක් පැවැත්වීටමද යෝජනාවී තිබේ.

ක්‍රීඩාංගණවල තත්ත්වය උසස් මට්ටමෙන් පවත්වා ගැනීමට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තීරණයවී ඇති අතර එහිදී තත්ත්වයෙන් බාල ක්‍රීඩාංගණ සහ තණතීරුවලට තහනමක් පැනවීමටද තීරණයවී තිබේ.