FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කාලේ සිදුවුන අතපසුවීමක් ගැන චන්ද්‍රිකා කියයි…

 

“අපි නව රජයක් ඇති කළා.” යහපාලනය කියන වචනය යටතේ අලුත් ජනාධිපතිවරයෙක් පත්කරගත්තා. අපිට බොහෝ ප්‍රශ්න තිබෙන බව ඇත්ත. සමහරු අපේ මූණට දමල ගහනවා වගේ අහනවා, මේකද යහපාලනය කියන්නේ කියලා.” යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය එසේ පවසා සිටියේ රක්වාන ශාන්ත ජෝන් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාපිටියේ දී පැවැති ජාතික පාසල් තෛ‍පොංගල් අස්වනු මංගල්‍යය උත්සවයේදීය.

හිටපු ජනපතිනිය මෙසේ ද පවසන ලදි.

අපේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව වසර දහස් ගණනාවක් තිස්සේ එකට ජීවත් වෙනවා. නමුත් අපි කිසි දවසක  ජාතික හෝ රාජ්‍ය මට්ටමෙන් එකිනෙකාගේ ආගමික සංස්කෘතික වැනි ප්‍රධාන උත්සව එකට සමරලා තිබුණේ නැහැ. මෙම අසමගිය නිසා රට තුළ යුද්ධයක් ඇතිවීම. රටෙන් කොටසක් කඩා ගන්න තවත් පිරිසක් උත්සාහ කිරීම පුදුමයක්ද? මගේ දමිළ ජාතික මිත්‍රයන් විශාල පිරිසක් සිටිනවා. නමුත් මමත් කිසිම දවසක තෛපොංගල් බත් කාලා නැහැ. අපේ සිරිතක් නැහැ එකිනෙකාට ආරාධනා කරලා එකතුකර ජාතික උත්සව සමරන්න.

අපි තීන්දු කළා රටේ හැම ජාතියක්ම එකට එකතු වෙලා අපේ සංස්කෘතින් අපේ ආගමික වතාවත් සම්ප්‍රදායන් එකට බෙදාගෙන බුක්ති විඳිමු කියලා. එහෙම කළා කියලා අපේ අනන්‍යතාවය නැති වෙන්නේ නෑ. ආගමේ භාෂාවේ ශක්තිය වැඩි වෙනවා.

මම ජනාධිපති කාලේ මට ආව අදහසක් සිහිනයක් තමා මේ ක්‍රියාත්මක වන්නේ මගේ පාලන කාලයේ මා කාර්යබහුල ජීවිතයක් ගත කළ නිසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අතපසු වුණා.

අපි සාමයෙන් සංහිඳියාවෙන් එකට ගමන් කරමු. අපේ රට ලෝකයෙන් වැඩිම අධ්‍යාපන දැනුමක් තිබෙන රටවල් විස්ස තිහ අතර තිබෙනවා. ඒ වගේම පැරැණි ශිෂ්ටාචාරයක් තියෙන උසස් වෘත්තීයවේදීන්. විද්‍යාඥයන්, කලාකරුවන් වැනි වැදගත් පිරිස් සිටින රටක්.

නමුත් පසුගිය වසර පහළොවක කාලයක සිට අපේ රටේ දිලිඳුකම වැඩි වුණා. අවුරුදු පහට අඩු දරුවන් අතරින් සියයට හතළිහක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. සියයට විසිපහක් අධි මන්ද පෝෂණයෙන් පෙළෙනවා. මේවා වැළැක්වීමට ජාතිවාදී හැඟීම් ඇති අය මෙතෙක් කළ දෙයක් නැහැ. සමහර නායකයන් කියා ගන්නා උදවිය රටේ ජනතාවගේ මුදල් හොරා කාලා රට දුප්පත් කළා.

අපි රට භාර ගන්න විට රටේ මුදල් කෝටි ගණන් හොරකම් කරල ආර්ථිකය බිංදුවට බස්සල තිබුණේ. රජයේ සේවකයන්ට පඩි ගෙවන්නවත් මුදල් තිබුණේ නැහැ. ණයබර අනුව රටේ උද්ධමනය වැඩි වෙලා. රුපියලේ අගය අඩු වෙනවා. ජීවන වියදම වැඩි වෙනවා.

යහපාලන රජයෙන් රැකියා සුළු ප්‍රමාණයක් ලබා දුන්නා. නමුත් වැඩිපුර රැකියා දෙන්න බැරිවෙලා තිබෙනවා. ආර්ථිකය හදා ගන්නාතුරු එවැනි දේවල් වැඩිපුර කරන්න බැහැ. මේ වනවිට විශාල මහන්සියක් අරගෙන හරි මාර්ගයට යොමු වෙලා රැකියා ඇති කරන සංවර්ධන වැඩපිළිවෙළක් පටන් අරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, සබරගමු පළාත් සභා අමාත්‍යවරුන් වන භාණු මුනිප්‍රිය, අතුල කුමාර රාහුබද්ද යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.