FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී හා මහින්ද එක්විය යුතු කරුණක් ගැන ඇමතිනී සුමේධා කියයි…

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් අනිවාර්යෙන්ම එක්විය යුතු බවත් එසේ නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පිහිටුවීමට අසීරු වනු ඇති බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ මොණරාගල මැතිවරණ කොට්ඨාසයේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීම සඳහා පසුගියදා මොණරාගල නගරයේදී පැවති රැස්වීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි.

”ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළ යුතු කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී මහතානන් විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටට අතිවිශාල කාර්යභාරයක් සිදුකරන ලද දේශපාලන පක්ෂයක්. ජනසතු ව්‍යාපාරය මගින් රජය ශක්තිමත් කළා. රාජ්‍ය ආයතන ගණනාවක්ම ස්ථාපිත කළා. වසර 30කට වැඩි කාලයක් තිස්සේ මේ රටේ පැවති ත්‍රස්තවාදය මුලුමනින්ම පරාජය කිරීමට නායකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි.

ඒ වගේම රට සීඝ්‍ර සංවර්ධනයකට ලක්කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි. වර්තමානයේ රට තිරසර සංවර්ධනයක් කරා ගෙනයාමට නායකත්වය ලබාදෙන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයයි.

පක්ෂයේ සමගිය වෙනුවෙන් විවිධ සාකච්ඡා සිදුවෙනවා. ඒ වගේම යම් යම් විවේචනත් සිදුවෙනවා. කුමන සාකච්ඡා, කුමන විවේචන සිදුකළත් අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාම සඳහා වත්මන් ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් අනිවාර්යයෙන්ම සමගිවෙයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා” යනුවෙන්ද තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.