FAST NEWS

24×7 Around the Globe

පළමු හා දෙවැනි තරග ජය හා පරාජය වීමට හේතුව ෆෝර්ඩ් කියයි..

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සටන්කාමී බව සතුටුදායක බව ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

එසේම ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ගේ සේවය නොලැබිම කණ්ඩායමට ලොකු බලපෑමක් බවත් නමුත් ඉදිරි තරග ජයගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන බවද ඔහු පැවසීය.

“කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනකු අබාධවලට මුහුණ දී ඉන්නවා. මේ තත්ත්වය උඩ නුවන් ප්‍රදීප්, ධනුෂ්ක ගුණතිලක හා නායක ඇන්ජලෝ මැතිව්ස් ද අපට අහිමිවෙලා. මේක කණ්ඩායමට ලොකු පාඩුවක්. විශේෂයෙන් නායකයා ලෙස මැතිව්ස්ගේ සේවය නොලැබිම කණ්ඩායමට ලොකු බලපෑමක් වුණත් ඉදිරි තරග ජයගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරනවා.”යැයි ඔහු පැවසීය.

“දෙවැනි විස්සයි-20 තරගයේ අපට ලැබුණු තණනිල්‍ලේ දක්ෂතා දැක්වූ ලක්ෂාන් තමාගේ මුල්ම තරගයේදී හොඳ ප්‍රතිඵල ලැබුවා. ඔහු නවක පන්දු යවන්නෙක්. ටෙස්ට් තරගවලදී දස්කම් පෙන්වා තිබුණා.  ඇත්තටම ඔහු මුල් තරගයටත් ගන්නයි හිටියේ එහෙත් ඕවර් දහයකට සීමා වීම නිසා ඔහුට අවස්ථාව දෙන්න බැරි වුණා. යොවුන් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලද හොඳින් පහරවල් කරා ගොස් ලකුණු අතරට ඇවිත් සිටිනවා. ඔහුත් නවකයෙක් නිසා අත්දැකීම් අඩුයි. ඒත් ඉදිරි තරගවලින් ඔහුට උපරිම දක්ෂතා අතරට පැමිණීමේ හැකියාව තියෙනවා” යනුවෙන් ෆෝඩ් සඳහන් කළේය.

“නායක මැතිව්ස්ට ගොඩක් විවේචන එල්ල වුණත් ඔහු ඉතා හොඳින් තරග කළා.  සෑම තරගයක් සඳහාම ඔහු ළඟ හොඳ සැලසුම් තිබුණා. ඔහු කණ්ඩායමේ බර කරට ගෙන ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක්. ජය ලැබූ තරගයේදී ඔහු ඔහුගේ හැකියාවන් පෙන්නුම් කළා. ඔහුට මොන විවේචන එල්ල වුණත් සෑම තරගයකදීම හොඳින් ක්‍රියාත්මක වෙනවා වගේම කණ්ඩායමට හොඳ නායකත්වයකුත් දෙනවා.” යනුවෙන් ෆෝර්ඩ් සඳහන් කළේය.

තික්ෂිල ද සිල්වා මුල් තරග දෙකේදී පන්දු යැවීමට නොගත්තේ ඇයි දැයි  පැහැදිලිකරනු ලැබූ ග්‍රැහැම් ෆොර්ඩ් පළමු තරගය පන්දු වාර දහයකට සීමාවීම නිසා දෙවැනි තරගය දඟපන්දු යවන්නන්ට වාසිදායක වූ නිසාත් තික්ෂිලගේ සේවය අවශ්‍ය නොවූ බවද කියා සිටියේය.