FAST NEWS

24×7 Around the Globe

අධික පිටි සහිත ආහාර “ටෝස්‌ට්‌” කර කෑමෙන් සිදු වන දේ මෙන්න…

 

අධික පිටි සහිත පාන්, අල, චිප්ස්‌ හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක්‌ යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර කිරීම (ටෝස්‌ට්‌) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්‌ වන “ඇක්‍රිලමයිඩ්” නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්‌සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක්‌ දුඹුරු පැහැ ගැන්වෙන තෙක්‌ කර නොකර රන්වන් පැහැයට හුරු කහ වර්ණ ගැන්වෙන තෙක්‌ අඩු උෂ්ණත්වයක කර කිරීමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍යය නිපදවීම වළක්‌වා ගත හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අමු අර්තාපල් අල ශීතකරණයක තැන්පත් කිරීමෙන්ද මෙම “ඇක්‍රිලමයිඩ්” නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවීම සිදු වන බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඔවුහු කියා සිටිති.

මේ නිසා අමු අර්තාපල් සිසිල් ස්‌ථානයක සෙල්සියස්‌ අංශක 6 ට අඩු උෂ්ණත්වයක්‌ යටතේ තැන්පත් කර තබා ගත යුතු බව පර්යේෂණ වාර්තා දක්‌වති.

ටෝස්‌ට්‌ කිරීමේදී මෙන්ම සෙල්සියස්‌ අංශක 120 ට වැඩි උෂ්ණත්වයක්‌ යටතේ බේක්‌ කිරීමේදී හා ග්‍රිල් කිරීමේදී “ඇක්‍රිලමයිඩ්” නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවෙන බව අනාවරණය වී තිබේ.

සිගරට්‌ දුමෙහිද මෙම “ඇක්‍රිලමයිඩ්” නමැති රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව පවතී.