FAST NEWS

24×7 Around the Globe

අද තරගයේ සැළසුම් මැතිව්ස් හෙළි කරයි – නායකත්වය ගැනත් කියයි..

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.30ට දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවැත්වේ.

දෙපිල අතර මේ දක්වා විස්සයි-20 තරග 6ක් පවත්වා ඇති නමුත් දෙපිල අතර අප්‍රිකාවේදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

කෙසේ වුවත් අද තරගය පිළිබඳව ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මැතිව්ස් පැවැසුවේ ටෙස්ට් තරගාවලියට වඩා මෙම තණතීරුව ලංකාවට යහපත් බවය.

“මේ තණතීරුව අපට යහපත් බව පෙන්වන නිසා හෙට (අද 20) තරගයේදී පිතිකරුවෝ 7 දෙනකුයි පන්දු යවන්නන් 4 දෙනකු යොදාගන්න බලාපොරොත්තු වෙනවා.ධනුෂ්ක ගුණතිලක ආබාධයක් නිසා සෙල්ලම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ධනංජයයි, දික්වැල්ලයි ආරම්භක පිතිකරුන් ලෙස සෙල්ලම් කරාවි. ඒ වගේම බොහෝ විට තික්ෂිල හෝ සචිත් පතිරණගෙන් කෙනකු සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා” යනුවෙන් පැවැසූ මැතිව්ස් ඉදිරියේදී නායකත්වය වෙනස් වෙනවාද යන්න පිළිබඳව ඇසූ ප්‍රශ්නයකටද පිළිතුරු සැපයීය.

“නායකත්වය ලැබුණත් නැතත් මම ක්‍රීඩකයකු ලෙස සෙල්ලම් කරනවා. ඒවා බොහෝ වෙලාවට වෙනස් වෙනවා. ඒ තනතුරු තාවකාලිකයි. ඒත් අවශ්‍ය වෙන්නේ කණ්ඩායම වෙනුවෙන් යමක් කිරීමයි” යනුවෙන්ද කීය.

ශ්‍රී ලංකා සංචිතය –

ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, සචිත් පතිරණ/තික්ෂිල ද සිල්වා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්/ලක්‍ෂාන් සඳකැන්, සික්කුගේ ප්‍රසන්න