FAST NEWS

24×7 Around the Globe

අයවැය මඟින් යෝජනා කළ කල්බදු පිළිබඳ නව රෙගුලාසියක් ක්‍රියාත්මකයි..

කල්බදු ක්‍රමයට වාහන ලබාදීම පිළිබඳව නව රෙගුලාසියක් පසුගිය අයවැය මඟින් යෝජනා කළ අතර, එම යෝජනා යටතේ වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන පරිදි ක්‍රියාවට නැංවෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා ලීසිං ආයතන වෙත ලබාදී ඇති උපදෙස් අනුව, මෙම වසරේ සිට ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථ කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා නව නියාමන ක්‍රමවේදය ක්‍රියාවට නැංවෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව, ත්‍රීරෝද රථ මිලදී ගැනීමේදී මෙතෙක් පැවති වටිනාකමින් 10% ක මුදලක් ගෙවා ලබාගැනීමට තිබූ අවස්ථාව වෙනුවට මින් ඉදිරියට වටිනාකමින් 25% ක මුදලක් ගෙවා ත්‍රීරෝද රථයක් කල්බදු ක්‍රමයට ලබාගැනීමට සිදුවනු ඇත.

රථවාහන නීති සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් යෝජිත නීති නුදුරේදී සංශෝධනය කිරීමට නියමිත අතර, ත්‍රීරෝද රථ මිලදී ගැනීම සඳහා පනවා ඇති නව ණය සීමාව ත්‍රීරෝද රථ භාවිතය සම්බන්ධයෙන් පාලනයක් ඇතිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.