FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි වු රාබාඩා ස්ටේන්ව පරදයි – රංගනට ස්ථානය අහිමී වෙයි..

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 3-0 ක ජයක්‌ දකුණු අප්‍රිකාවට ලබාදීම වෙනුවෙන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාවු කාගිෂෝ රබඩා ජාත්‍යන්තර ටෙස්‌ට්‌ පන්දු යවන්නන් අතර පළමු වරට ඩේල් ස්‌ටේන්ව අභිබවා යැමට සමත්ව තිබේ.

රබඩා ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී කඩුලු 19 ක්‌ ලබා ගත් අතර එහිදී ඔහුගේ කඩුල්ලක්‌ ලබා ගැනිමේ සාමාන්‍ය 17.15 ක්‌ ලෙස සටහන් වේ.

දකුණු අප්‍රිකානු අංක එකේ වේග පන්දු යවන්නා වන ඩේල් ස්‌ටේන් ආබාධයක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා නොකළ අතර එහිදී රබඩා දැක්‌වු දක්‍ෂතාව හේතුවෙන් ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි තැන දක්‌වා උසස්‌වීම් ලබා තිබේ. ඩේල් ස්‌ටේන් හයවැනි ස්‌ථානයේ පසුවේ.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින් සමත්ව ඇති අතර දෙවැනි ස්‌ථානය රවීන්ද්‍ර ජඩේජාට හිමිව තිබේ.

දකුණු අප්‍රිකානු සංචාරයේදී කඩුලු අතරට පිවිසීමට නොහැකිවු රංගන හේරත් පන්දු යවන්නන් අතර සිව්වැනි තැනට පත්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි ටෙස්‌ට්‌ තරගය තමාගේ සියවැනි ටෙස්‌ට්‌ තරගය බවට පත්කර ගත් දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි තැනට පත්ව තිබේ.

නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් 33 වැනි ස්‌ථානයේත් සුරංග ලක්‌මාල් 34 වැනි ස්‌ථානයේත් පසුවේ.

නවක ක්‍රීඩක ළහිරු කුමාර 61 වැනි ස්‌ථානයට පත්ව තිබේ.