FAST NEWS

24×7 Around the Globe

සම ලිංගිකත්වය නීතිගත කිරීම ගැන ජනපතිගෙ අදහස අැමති ලක්‍ෂමන්ගෙන්… (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම ලිංගිකත්වයට මුලුමනින්ම විරුද්ධ බවත් යම් සමාජයකට බලපාන ඕනෑම ප්‍රශ්නයකට මැදිහත්වීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවද වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

එය ලාංකීය සමාජයට හා සංස්කෘතියට කිසිඳු ලෙසකින් නොගැලපෙන්නක් බවත්, එවැන්නකට කිසිඳු ලෙසකින් ඉඩදිය නොහැකි බවත් ඇමතිවරයා පවසා සිටියේ, ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය GSP+ බදු සහනය ලබා ගැනීම සදහා සමලිංගිකත්වය නීතිගත කිරීමේ කොන්දේසියට එකග වී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව පවසා සිටියේය.

එසේම යෝජිත මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මේ ඇති එකඟවිය හැකි කරුණුවලට එකඟ වන බවත් එකඟවිය නොහැකි කරුණුවලට කිසිසේත්ම එකඟ නොවන බවත් ඔහු පැවැසිය.

” GSP+ බදු සහනය ලබාදීමට යුරෝපා සංගමය තීන්දු කළා. ඒ දෙන ගමන් ක්‍රියාත්මක කල යුතු කරුණු කිහිපයක් දැනුම්දීලා තියනවා. පුළුවන් ඒවා කරනවා .. බැරි ඒවා බැහැ කියනවා.

කොන්දේසිවලට යටත් වෙලා සහන ගන්න ජනාධිපතිතුමා සුදානම් නැහැ. අපට සංස්කෘතියක් තියනවා. සම ලිංගිකත්වයට යුරෝපයේත් රටවල් විරුද්ධයි. කතෝලික පල්ලියත් විරුද්ධයි. අපි පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු. ඒ නිසා සදාචාර විරෝධී ක්‍රියා අපට අනුමත කරන්න බැහැ” යයි ඇමතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

යුරෝපා සංගමය විසින් ලබාදීමට නියමිත GSP+ (Genaralised Scheme of Preferences) සහන සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කල යුතුව ඇති මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (National action plan for the protection and promotion of human rights 2017-2021) වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබිය.

ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ ‘වික්ටෝරියානු සදාචාරයේ’ පීඩාකාරී නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවක් එහි සඳහන්ව ඇතත් සම ලිංගිකත්වය නීතිගත කල යුතු බවට එහි කිසිඳු තැනක සඳහන් නොවේ.

වීඩියෝව පහතින්..