FAST NEWS

24×7 Around the Globe

”එදා එපා කියා විසිකර දැමූ දේ අද රනිල්ට ඕනෙ වෙලා…”

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වර්තමානයේ ගෙන ඒමට සූදානම් වනුයේ තමා ජනාධිපතිවරිය ලෙස එදා ගෙන එනු ලැබූ, එවකට විපක්ෂනායකවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ‘එපා කියා විසිකර දැමූ’ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ජාතික සමගිය හා සංහිඳියා විමර්ශන කාර්යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුව අමතමින් හිටපු ජනපතිනිය සඳහන් කළේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහිත තමන් ගෙනා ව්‍යවස්ථාව රනිල් වික‍්‍රමසිංහ මහතා එවකට ප‍්‍රතික්ෂේප කළේ තම පක්ෂය යළිත් වරක් මැතිවරණය ජයගනු ඇතැයි යන බියෙන් බව ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් එදා ගෙන ආ ව්‍යවස්ථාව විසිකොට දැමූ එවකට විපක්ෂනායක වූ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්ම අද එම ව්‍යවස්ථාව ගෙන ඒම සම්බන්ධයෙන් වත්මන් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙසේ පවසා සිටියා ය.

”ඒ තමයි සහෝදරයා කියන්නේ මිනිසාගේ චරිතය කියලා. එදා එපා කිව්ව ව්‍යවස්ථාව තමයි අද ඔය රනිල් වික‍්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා ඒක එපා කිව්වේ අපේ පක්ෂය යළිත් දිනාවි කියන බයට. මම තව ටිකක් කල් ජනාධිපති වෙලා ඉඳී කියන බයට. අන්තිමට ඒගොල්ලෝ බලයට ගේන්නත් මම නායකත්වයකුත් අරගෙන උදව් කරලා අගමැතිත් කරලා තවත් අය ජනාධිපති කරලා මම එදා කිව්ව එක ඒගොල්ලෝ දැන් කියනවා.

ඔය කාලසීමාව ඇතුළත අවුරුදු 20ක් තිස්සේ රට විනාශ වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් ඇතුළුව බොහෝදෙනෙක් පිළිගන්නවා එදා ඒකට සහාය දුන්නා නම් හොඳයි කියලා. ඔවුන් ඒ වැරැද්ද පිළිගන්නවා. දැන්වත් පිළිගන්න එක ලොකු දෙයක්නේ.” යැයි හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.