FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට දකුණෙන් හැකර් ප්‍රහාරයක් – ලිපි ලේඛන සියල්ල ලීක්…

මීට ටික කාලයකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට ඇතුළුවූ තරුණයෙකු ගැන පුවතක් පළවූ අතර ඔහු සිදු කර තිබුනේ එම වෙබ් අඩවිය වෙනස් කර උසස් පෙළ විභාගය කල්දාන්න නැතිනම් ඉල්ලා අස්වෙන්න යන තර්ජනය එයට ඇතුළු කිරීම පමණි.

මෙම කාරණාවේදී ඔහු අත්අඩංගුවට පත් කර වැරදිකරු වුවත් ජනපති පසුව ඔහුව නිවසටම ගෙන්වාගෙන සමාව සමග තෑගිබෝගදී ඔලුව අතගා යැවුවේය.

මෙම ක්‍රියාව ආදර්ශයට ගත් තවත් තරුණයෙකු මේ වන විට ඊටත් වඩා බරපතල දෙයක් සිදු කර ඇති අතර අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය නමැති සැකකරු අනවසරයෙන් ප්‍රවිශ්ට වී ඇත්තේ “ජනපතිට කියන්න” නමැති වෙබ් අඩවියටය.

එය පවත්වාගෙන යන්නේ ජනපතිගේ අවධානය පිණිස මහජනතාව පවසන දුක්ගැනවිලි ලබාගන්නටය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මහජනතාව යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික හඬ පට හා ලිපි ලේඛන ලක්ෂයකට අධික ප්‍රමාණයක් මොහු සොරකම් කර ඇති අතර පසුව ඔහු මෙම ෆයිල් තොගය මාධ්‍යයේ පළකිරීමේ අටියෙන් හෝ වෙනත් හේතුවකට ජනමාධ්‍යවේදියෙකු වෙත ඊමේල් කර තිබේ.

තොරතුරු අතුරුදන්වීම ගැන රහස් පොලිසියට මින් ටික කාලයකට පෙර පැමිණිල්ලක් ලැබී තිබී ඇති අතර එම තොරතුරු කොටසක් තවත් තැනකින් මතුවීම ගැන සෝදිසියෙන් සිටි පොලිසියට අදාළ ජනමාධ්‍යවේදීයාගේ ඊමේල් පණිවිඩය වැඩිදුර අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබී තිබේ.

ඒ ඔස්සේ ඊමේලය යොමුකළ අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය කොටු කරගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමා ජනපතිගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවූ ආකාරය හෙළිදරව් කර වරද පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 19දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (9දා) නියෝග කළේය.

ජනාධිපති සහකාර ලේකම් චමීර කන්නන්ගර මහතා ඉකුත් 7දා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. කේ. සේනාරත්න මහතා මෙම විමර්ශනය සිදු කර තිබුණි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා “ජනපතිට කියන්න” වෙබ් අඩවිය වෙත කිසිම අපහසුතාවකින් තොරව ඇතුළු වූ බවත් එම වෙබ් අඩවියේ ඇති අඩුපාඩු හා එය වෙත ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම දැනුවත් කිරීම සඳහා අදාළ ක්‍රියාව සිදු කළ බවත් පවසන ලදි.

සොරකම් කරන ලද දත්ත පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාලයක සේවය කරන අයෙකුගේ රාජකාරි විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන ලද්දේ හැකි නම් ඒ ගැන සොයා බලන්න කියන්නට බවත් දන්වා තිබේ.

සැකකරු භාරයේ තිබූ පරිගණක උපාංග, දත්ත තොගයක්ද රහස් පොලිසිය භාරයට ගෙන තිබිණි.