අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2016 ප්‍රතිඵල පෙරේදා (07) නිකුත් වූ අතර විෂය ධාරා අනුව පළමු, දෙවැනි හා තුන්වන ස්ථාන හිමිකරගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් බැහැර ප්‍රදේශවලින් තේරී පත් වී තිබිම මෙවර විශේෂත්වයකි.
ඒ අනුව මෙවර ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි සිසුවියත් ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී. තිසල් පුන්සර සිසුවාත් වාණිජ අංශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.ඒ. මුදිත අකලංක රාජපක්ෂ සිසුවා හා කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්. ඉන්දීවරී ගවරම්මන සිසුවියත් හිමිකරගෙන ඇත.
මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනය චුන්නාකම් ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුර්සජාන් සිසුවාත් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. මලිති ශෂිකලා දිල්රංගි සිසුවියත් පොදු විෂය ධාරාව යටතේ කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාර ඒකනායක සිසුවියත් හිමි කරගෙන තිබේ.
ප්‍රධාන විෂය ධාරා හයක් යටතේ අයැදුම්කරුවන් 263550 මෙවර පෙනී සිටි අතර ඒ අනුව එක් එක් විෂය ධාරාවන්ගෙන් දිවයිනේ දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගත් සිසුන් පහත දැක්වේ.
ඒ අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනෙන් දෙවැනි ස්ථානය කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්. රොෂේන් අක්තාර්, තුන්වැනි ස්ථානය කල්මුණේ කාර්මෙල් ෆාතිමා විද්‍යාලයේ පී. ක්ලෙරින් දිලුජාන් සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී. චතුර ජයසංඛ හා තුන්වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බි. සවිඳු දිමාල් තානුක සිසුවාද හිමි කර තිබේ.
එමෙන්ම වාණිජ විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ටී.එෆ්. ඔනිල් වින්දුල පෙරේරා සිසුවාත් තුන්වැනි ස්ථානය හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ පී.පී.ඒ. නිපුනි ධනංජනී රූපසිංහ සිසුවියත් කලා අංශයෙන් දිවයිනේ දෙවැනි ස්ථානය යාපනය මනිපායි හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෙෂාන් සහ තෙවැනි ස්ථානය කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්. අමන්දා පාරමී කල්පාශ්‍යක සිසුවියත් හිමි කරගෙන ඇත.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවැනි ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ කේ.ඩබ්ලිව්. නිසල් කොබ්බෑකඩුවත් තෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ ආර්.ජී. සංදීප අංජලී රණතුංග සිසුවියත් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දෙවැනි ස්ථානය කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලයේ ටී. මයුමි තත්සරණි සහ තෙවැනි ස්ථානය මඩකලපුව ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා අරෝස සිසුවිය හිමි කරගෙන තිබේ.










