FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ උසම නත්තල් ගස ගැන ගිනස් වාර්තා සංවිධානයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න…

 

පසුගියදා ලංකාවේ විශාල කථාබහක් ඇති කරමින් නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ අර්ජුන රණතුංග සත්කාර පදනම ඉදිකළ ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් වෙත දන්වා නැතැයිද එය වාර්තා පොතට ඇතුළු කිරීමට ඒ නිසා ඉඩක් නැතැයිද ගීනස් ලෝක වාර්තා සංවිධානයේ ජාත්‍යන්තර මාධ්‍ය නිලධාරිනී ඇම්බර් ජෝර්ජිනා ගිල් මහත්මිය දන්වා තිබේ.

ඩේලි මිරර් පුවත්පත ඇගෙන් කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන් ඇය පවසා ඇත්තේ ‘අපිට මේ ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවි මගින් ආරංචි වුණා. එය සාර්ථක වූ බවටද කරුණු පළවුණා. ඒ ගැන සතුටුයි. නමුත් අපට ගිනස් වාර්තාවක් ලබාදිය හැක්කේ මේ ගැන අපව නිල වශයෙන් දැනුවත් කළානම් පමණයි.

අපගේ වෙබ් අඩවියේ පළකර තිබෙන අයදුම් පත්‍රයවත් තවම ඔය වැඩේ කළා කියන අය එවලා නැහැ. අප සතුටුයි ඒ අයට දැනුම් දෙන්න ඒක එවන්න කියලා. එය එවූ පසු සියලු කරුණු හොඳින් පිරික්සීමෙන් පසුව අපට වාර්තාවක් ලබාදීම ගැන සිතා බලන්න පුළුවන්.’

පසුගිය අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් අග දක්වා රුපියල් මිලියන 12ක වියදමින් වරාය අධිකාරියට සම්බන්ධ ස්වේච්ඡා කණ්ඩායමක ශ්‍රම දායකත්වයෙන් ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගසේ වාර්තාව ලංකාවේදී තබන්නට කටයුතු කර තිබුණි.

අඩි 180.4 ක උසකින් නත්තල් ගස තනා මේ දක්වා චීනය උසුලා තිබූ බව කියූ මෙම වාර්තාව අඩි 238 ක උසකින් ලංකාව නිම කර මාධ්‍ය නිවේදන මගින්ද දන්වා තිබුනේ තමන් වාර්තාව පසු කළ බවයි.

අගරදගුරු තුමන්ගේ ඉල්ලීමක් මත නත්තල් ගසේ වැඩ තාවකාලිකව නතර කළ අවස්ථාවේ මෙය ඉදිකළ අය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ගැන ගිනස් ලෝක වාර්තා සංවිධානය දැනුවත් කළ බව කියා සිටියත් මේ අනුව පෙනී යන්නේ එවැන්නක් ඇත්තටම මේ දක්වා කර නැති බවකි.

කෙසේ වෙතත් මෙතරම් විශාල ප්‍රචාරයක් දියත් කර වාර්තාව ලබාගැනීමට උත්සාහයක් හෝ කර නොතිබීම සැකයටද හේතුවේ.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තමීර මංජුගෙන් ඩේලි මිරර් කළ විසීමේදී ඔහු පවසා ඇත්තේ ඔවුන් ගිනස් වාර්තා සංවිධානයට තොරතුරු යවා ලියාපදංචි වී ඇති බවත් දෙවැනි පියවර ලෙස සාක්ෂි වීඩියෝ පට වාර්තා ආදිය පමණක් තවම යැව්වේ නැති බවත් ඒවා ඉදිරියේදී යවන්නට සිතා සිටින බවත්ය.