FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්දට බොදු බල සේනාවෙන් නඩු – එන්තරවාසිත් යවයි…

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර තිබේ.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් හෙතෙම පැවැසීය.

මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් පැවසූ ඩිලන්ත විතානගේ මහතා, හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ‘This Man’ (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බව පවසා සිටියේය.

බොදුබල සේනා සංවිධානය ඇමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.