FAST NEWS

24×7 Around the Globe

චීනයේ වගේ ලංකාවේත් කාන්තාවන්ට නිවාඩුවක්? – කාන්තා ඇමතිනීගෙන් ප්‍රකාශයක්…

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතු යැයි ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් කැබිනට් මණ්ඩලය එය නිර්දේශ කිරීමට සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවැසීය.

චීනයේ පළාත් රැසක් මෙවැනි නිවාඩුවක් දැනටමත් නිර්දේශ කර ඇති බැවින් එවැන්නක් ශ්‍රී ලාංකීය කතුන්ටත් ලබාදිය නොහැකිදැයි බී.බී.සී.ය විසින් කළ විමසීමකදී අමාත්‍යවරිය මෙසේ අදහස් දක්වා තිබේ.

එහිදී, අමාත්‍යවරිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතුයැයි තමා පෞද්ගලිකව විශ්වාස කරන බවය.

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරිය,

“දරන්න බැරි වේදනාවක් එන කාන්තාවන් ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මා හිතනවා එහෙම නිවාඩුවක් ලබාදෙන්න පුළුවන්නම් හොඳයි” යනුවෙන් ඇය පවසන ලදි.

ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබාගැනීමට චීනයේ පළාත් රැසක දැනටමත් නීතියෙන් අවස්ථාව හිමිවන බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බවද කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.