FAST NEWS

24×7 Around the Globe

සහල් ගණන් වැඩි වෙන එකට ඩඩ්ලි සිරිසේන ඇමැති හැරිසන්ට කල චෝදනාව මෙන්න…

 

සහල් මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති පී. හැරිසන් මහතා රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම යැයි අරලිය සහල් සමාගමේ ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (27දා) පැවැසීය.

පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා සිදු කරන වැරැදි ක්‍රමවේදයක් නිසා සහල් මිල ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ ඩඩ්ලි සිරිසේන මහතා එයට වගකිවයුත්තේ විෂය භාර ඇමැතිවරයා යැයිද පැවැසීය.

මෙරට මහා පරිමාණ මෝල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවැසීය.

”වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට ජනාධිපති සහ අගමැති තීරණය කළා. එහෙත් රජය සතු එම වී තොග නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුව විෂයභාර ඇමැතිවරයා මුදා හැරියේ නැහැ. දැන් රට තුළ හිඟයක් පවතින නාඩු වී අප වෙත මුදා හැරියේ නැහැ. මට නම් නාඩු වී ඇටයක්වත් ලබා දුන්නේ නැහැ. වී මෝල් හිමියන් සතුව ලබන 2017 අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් තරම් කීරි සම්බා සහ සම්බා තොග තිබෙනවා. නමුත් හාල් මිල ඉහළ යෑම ගැන මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කීපදෙනකුටම චෝදනා එල්ල කරනවා. ඒක සාධාරණ නැහැ.

වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට වී කිලෝව ගන්නවා. ඒක රුපියල් 50ට වී මෝල් හිමියන්ට අලෙවි කරනවා. එතකොට වී කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී සඳහා පමණක් රුපියල් 80ක් වැය වෙනවා.”

රජය සතුව තිබූ වී තොග සහල් කිරීම සඳහා සහල් මෝල් හිමියන්ට නිසි ක්‍රමවේදයක් යටතේ නිකුත් කළා නම් මෙවැනි ගැටලු ඇති වෙන්නේ නැතැයිද ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.