FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතිවරු අතර ඇති ප්‍රසිද්ධ විවේචන නවත්වන්න එජාප මන්ත්‍රීවරු වෙරදරන හැටී…

 

මැති ඇමැති තනතුරු දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවත්, ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුනුත් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හා එකිනෙකාට අවලාද නැඟීම නතර කරගැනීමේ උත්සාහයක යෙදී සිටින එජාප පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් ලබන 30 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී කරුණු දැක්වීමට සූදානම් වෙති.

එම පසුපෙළ මන්ත්‍රිවරුන් කළ ඉල්ලීමකට අනුව ලබන 30 වැනිදා සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා මේ සඳහා අවස්ථාව ලබාදී තිබේ.

එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50කට ආසන්න පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බව සාකච්ඡාව ලබාගැනීමට මුල්වූ මන්ත්‍රිවරුන්ගෙන් කෙනකු වන මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් එකිනෙකා ප්‍රසිද්ධියේ විවේචනය කර ගැනීමෙන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ පත්වන අපහසුතාව ගැනත්, 2017 ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ගැනත්, විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 58 දෙනකුට මෝටර් රථ ලබාදීම අත්හිටුවීම ගැනත් මේ මන්ත්‍රි පිරිස ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට නියමිතය.

මේ අතර මන්ත්‍රිවරුන්ට වාහන ලබාදීමට අදාළ ලියවිල්ලට අනුමැතිය සඳහා අස්සන් නොකරන බවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නුවන් බෝපගේ මහතා ප්‍රකාශ කර තිබූ අතර, ඔහු එම ධුරයෙන් ඉවත් කරන්නැයි එජාප මන්ත්‍රිවරුන් 58 දෙනකුගේ අත්සනින් ලිපියක් යවා ඇති බවට පළවූ වාර්තා අසත්‍ය බවත් එජාප මන්ත්‍රිවරුන් කිසිවකු එවැනි ලිපියකට අත්සන් තබා හෝ ඒ ගැන ලිපියක් යවා හෝ නැති බවත් මුජිබර් රහුමාන් මහතා පැවැසීය.