FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා යෞවනයෝ ඉන්දියාව සමග අවසන් මහා සටනට සුදුසුකම් ලබයි..

ශ්‍රී ලංකා යෞවනයෝ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21 දා) පැවැති දිවා රාත්‍රී එක්‌දින තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනූව ලකුණු 26 ක ජයක්‌ ලබා ආසියානු යොවුන් ක්‍රිකට්‌ ශූරතාවේ අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගත්හ.

ඒ අනූව ආසියානු යොවුන් යොවුන් එක්‌දින ක්‍රිකට්‌ ශූරතාවේ අවසන් මහා ගැටුම හෙට (23 දා) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් පැවැත්වේ.

කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කළ බංග්ලාදේශ යෞවනයෝ කඩුලු පහක්‌ දැවී ලකුණු 166 ක්‌ ලබා තරමක ස්‌ථාවර මට්‌ටමක පැමිණ සිටියද ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලු පහ ලකුණු 28 කට බිඳ දමමින් ශ්‍රී ලංකාවේ ඉලක්‌කය පහසු කරවීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ විශ්ව චතුරංග සහ රවීන් කේල් පළමු කඩුල්ලට පන්දු 119 කදී ලකුණු 74 ක සබඳතාවක්‌ පිහිටුවමින් ශ්‍රී ලංකාව ආරම්භයේදීම ජයග්‍රාහී මාවතට තල්ලු කර දැමූහ. එහිදී විශිෂ්ට පිති ප්‍රහාරයක්‌ දියත් කළ මොරටුව වේල්ස්‌ කුමර විදුහලේ විශ්ව චතුරංග පන්දු 72 කදී හතරේ පහර 7 ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 68 ක්‌ ලබා ගත්තේය.

බංග්ලාදේශ යොවුන් පිල අතරමං කර දැමූ මොරටුව ශා. සෙබස්‌තියන් විදුහලේ ප්‍රවීන් ජයවික්‍රම සහ හරීන් වීරසිංහ දෙදෙනා එකතුව කඩුලු හතක්‌ බෙදා ගත්හ.

ලකුණු පුවරුව..

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 48.3 කදී සියල්ල දැවී ලකුණු 194 යි. (සයිෆ් හසන් 26, එස්‌.හොසේන් 36, රයන් රහමන් 38, ප්‍රවීන් ජයවික්‍රම 25/4, හරීන් වීරසිංහ 29/3 යි.)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 27.1 කදී කඩුලු 2 ට ලකුණු 106 යි. (රවීන් කේල් 22, විශ්ව චතුරංග 68, නයිම් හසන් 12/2 යි.)