FAST NEWS

24×7 Around the Globe

ප්‍රසිද්ධ විවාදයකට ඒකාබද්ධය වෙනුවෙන් අඩගසමින් බන්දුල මුදල් ඇමතිට සිදු කළ අභියෝගය මෙන්න…

 

මුදල් ඇමැතිවරයා චෝදනා කරන පරිදි රු. කෝටි 1300 ක අතිවිශාල මුදලක්‌ ජනාධිපතිවරණයට පෙර මහ බැංකුවෙන් හොරෙන් පිටකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස තමා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මුදල් ඇමැතිවරයාට අභියෝග කරන බවත් ඒ සඳහා හැකිනම් ඕනෑම ජනමාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමා කියා සිටින බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මුදල් ඇමැතිවරයා පවසන පරිදි රු. කෝටි 1300 ක්‌ ජනාධිපතිවරණයට පෙර පිටවුණා නම් අපි අභියෝග කරනව මහජනයා වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස මුදල් ඇමැතිවරයාට තමන්ගේ මේ පට්‌ටපල් අසත්‍ය චෝදනාව නිල වශයෙන් ඔප්පු කරන්න කියලා.

මේ සම්බන්ධයෙන් ඕනෑම මාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට අපි අභියෝග කරනව රටේ මුදල් විෂය භාර ඇමැතිවරයාට. මක්‌ නිසාදයත් මේ වගේ බරපතළමූල්‍ය අපරාධයක්‌ කළා නම් ඒ කවුරු වුවත් තරාතිරම නොබලා රටේ සමස්‌ත මූල්‍ය ක්‍රමයේ පැවැත්ම සඳහා රටට හෙළිදරව් කර අවශ්‍ය නිත්‍යානුකූල දඬුවම් ලබාදීම සිදුකළ යුතු නිසා බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

රු.කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු නීත්‍යානුකූල නොවන ආකාරයට පිටවී ඇති බව මුදල් ඇමැති කියනවා නම් ඒ මුදල් නෝට්‌ටු දැන් වෙළෙඳ පොළේ තියෙනව නම් එවැනි නෝට්‌ටුවක්‌ ළඟ තබා ගත් කෙනා පවා ඇප නැතිව බන්ධනාගාර ගත කිරීමට ලක්‌වෙන්න පුළුවන්.

මේක දැවැන්ත ප්‍රශ්නයක්‌. රටක මුදල් නෝට්‌ටුවට අත්සන් තබන මුදල් විෂය භාර ඇමැතිවරයාම ඒ රටේ ව්‍යවහාරයේ පවතින රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු ප්‍රමාණයක්‌ දේශපාලන බලය මත හොරෙන් මහ බැංකුවෙන් පිටකරනව කියන චෝදනාව කරවනම් ඒක තමයි රටක කරන්න පුළුවන් ඉහළම චෝදනාව.

මෙහෙම මුදල් ඇමැතිවරයාම කියන කොට අපේ මුදල් නෝට්‌ටු ජාත්‍යන්තර වශයෙන්වත් පිළිගන්න එකක්‌ නෑ. ලෝකේ මුදල් නෝට්‌ටු හුවමාරුව සිදුවන්නේ විශ්වසනීය භාවය මත බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.