FAST NEWS

24×7 Around the Globe

සුපිරි ඇමතිවරයෙක් සිය පාලන සමයේ නිර්මාණය නොවූ හේතුව ගැන මහින්ද කියයි…

 

තමන් සුපිරි ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ බැවින් තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී කිසිදු සුපිරි අමාත්‍යවරයකුගේ අවශ්‍යතාවක් නිර්මාණය නොවූ බවත් කිසිදු අයුරකින් සුපිරි අමාත්‍යවරයකුගේ අවශ්‍යතාවක් මෙරට තුළ පැන නැගී නොමැති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) පැවසීය.

ජනතාවට සත්‍ය වශයෙන්ම සේවය කරන ඕනෑම අමාත්‍යවරයෙක් සුපිරි අමාත්‍යවරයෙක් ලෙසින් තමා දකින බවද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නාරාහේන්පිට අභයාරාම විහාරයේ  ඊයේ (20) පැවති දානමය වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේබව සඳහන් කළේය.

සංවර්ධන විශේෂ විධිවිධාන පනතට කිසිදු පළාත් සභාවක් විසින් සහාය දැක්වීමක් සිදු කරනු ඇතියි කියා තමන් විශ්වාස නොකරන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

“ආණ්ඩුව එක කාලයකට කියනවා මේ රට චීන කොලනියක් කරන්න යනවා කියලා එයාලම රටේ දේපළ චීනයට දීලා ඒකේ වගකීම අපේ පිට දාන්න උත්සාහ කරනවා, ඉතින් අද වෙනකොට ජනතාවට ආණ්ඩුවේ දිව නැවෙන හැටි හොඳටම වැටහිලයි තියෙන්නේ.”

“ඒවගේම අද වෙනකොට ජනතාව මුහුණ දෙන තත්ත්වය දැක්කාම ඉතාම කනගාටුදායකයි. උත්සව කාලයක ජනතාවට හාල් ටිකක්, පොල් ටිකක්වත් සාධාරණ මිලට ගන්න හැකියාවක් නැහැ. අද  ජනතාවට ලැබෙන්නේ නත්තල් ගස් විතරයි. ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න කිසිවක් ලැබෙන්නේ නැහැ.”

“ආර්ථික ගැටලු නිසා ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා ඉන්නවා වගේම මාධ්‍යවේදීන් සත්‍ය හෙළි කරන්න බැරිව ඉන්නවා. තර්ජනය කරලා මාධ්‍ය නිහඬ කරලා තියෙනවා” යැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.