FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාගේ අභාවයෙන් පසු ඇගේ පක්ෂය මෙහෙයවීමට යන තැනැත්තා මෙන්න…

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු ඇගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය මෙහෙයවන ලෙස එහි ජ්‍යෙෂ්ඨ නායකයන් ඇගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන්ට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

ජයලලිතාගේ අභාවයෙන් පසු තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය අද(11) ප්‍රථම වරට රැස්වූ අතර පසුගිය දින කිහිපය තුළම මහ ඇමති පන්නීර්සෙල්වම් ඇතුලු  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. නායකයන් ශෂිකලා මුණගැසුණි.

ප්‍රාන්ත මහ ඇමති පන්නීර්සෙල්වම් කියා සිටියේ අම්මා හෙවත් ජයලලිතා මෙන්ම චින්නම්මා ලෙස හඳුන්වන ශෂිකලා ද පක්ෂය යා යුතු මග හොඳින් දැන සිටින බවයි.

ජයලලිතා පසුගිය වසර 27 පුරා ඉසිලූ පක්ෂ මහ ලේකම් ධුරය ශෂිකලා නටරාජන්ට ලබාදීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සැළසුමයි.

ඇය අඛණ්ඩව එම තනතුරේ තබාගැනීම සඳහා අතිරේක පක්ෂ මහ ලේකම් ධුරයක් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බව සදහන්ය.

දැනට 54 වන වියේ පසුවන ශෂිකලා නටරාජන් 80 දශකයේදී ජයලලිතාගේ සමීප හිතවතියක් බවට පත්වූ  අතර චෙන්නායි හි පිහිටි ජයලලිතාගේ පෝසේ ගාඩ්න් මැදුරේ වත්මන් පදිංචිකාරිය වන්නේද ඇයයි.