FAST NEWS

24×7 Around the Globe

නවකයන් – මෙන්ඩිස් හා තරගාවලිය ජය ගැනීමේ රහස නායක තරංග කියයි..

නවකයන්ගෙන් පිරි තම කණ්‌ඩායම සියලු අභියෝග අත උස්‌සා භාර ගත් බැවින් සිම්බාබ්වේ පැවැති තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකිවූ බව කණ්‌ඩායමට නායකත්වය ලබාදුන් උපුල් තරංග පවසයි.

සිම්බාබ්වේ සමග (27 දා) පැවැති අවසන් මහා තරගයේදී කඩුලු හයක්‌ අතැතිව තිබියදී ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා පිලට උපුල් තරංග සටන්කාමී අර්ධ ශතකයක්‌ (57) එක් කිරීමට සමත් විය.

”මේ අවස්‌ථාව මම ඉතාමත් සතුටට පත්ව ඉන්න වෙලාවක්‌.” යෑයි තරගයෙන් අනතුරුව පැවසූ තරංග වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. ”මේ ජයග්‍රණයේ සියලු ගෞරවය තරුණ කොල්ලන්ට හිමිවිය යුතුය. පසුගිය සති දෙකේදී ඔවුන් හොඳ රාජකාරියක්‌ කණ්‌ඩායම සහ රට වෙනුවෙන් ඉටු කළා. අපි එක පවුලක්‌ වගේ සබඳතාවන් පවත්වමින් සාර්ථක වුණා. කුසල් මෙන්ඩිස්‌ ඉතාමත් හොඳින් පන්දුවට පහරදෙමින් තරග දිනවන්නෙක්‌ බව පෙන්නුවා. හැම නවකයෙක්‌ම අත උස්‌සල අවශ්‍ය වෙලාවට තමන්ගේ වගකීම ඉටුකළා.”

කෙසේ වෙතත් මේ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පිල ලබන මාසයේදී දකුණු අප්‍රිකාවේදී දීර්ඝ ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි වන අතර ඒ සම්බන්ධයෙන්ද තරංග පවසා සිටියේ, ‘අපිට ඉදිරියේදී දකුණු අප්‍රිකාව සමග දැඩි තරග මාලාවක්‌ තියෙනවා. ඒකට තවත් මහන්සි වෙලා වැඩ කරන්න වෙලා තියෙනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් එම තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා පිලට එක්‌වීමට නියමිතය.