FAST NEWS

24×7 Around the Globe

හොරෙන් මුහුදු සීමාවට එන ධීවරයන්ට එරෙහිව ගෙනෙන නව සංශෝධනය ගැන අමරවීර කියයි…

 

මෙරට මුහුදු සීමාවට මසුන් මැරීම සඳහා නීති විරෝධී ලෙස ඇතුළු වන දකුණු ඉන්දීය ඇතුළු සියලුම විදේශ ධීවර යාත්‍රාවලින් රුපියල් ලක්‍ෂ තිහේ සිට රුපියල් කෝටි 17 ක්‌ දක්‌වා වූ සීමාවක දඩ මුදලක්‌ අයකර ගැනීමට ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා විසින් තීරණය කර තිබේ.

ඒ සඳහා මෙරට ජාත්‍යන්තර ධීවර පනත වෙනස්‌ කිරීමට ද ඇමැතිවරයා තීරණය කර ඇති අතර ඊට අදාළ නව සංශෝධන ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හෙතෙම අදහස්‌ කර ඇති බවද වාර්තා වේ.

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශ ධීවර බෝට්‌ටු සඳහා කිසිදු දඩ මුදලක්‌ මෙතෙක්‌ අය නොකළ අතර එම ධීවරයන් ආම්පන්න, බෝට්‌ටු අත්අඩංගුවට ගැනීම සහ එම භාණ්‌ඩ රාජසන්තක කිරීම පමණක්‌ දැනට සිදු කරන ලදි.

නව සංශෝධන ගෙන ඒමෙන් පසුව එවැනි නීති විරෝධී විදේශ බෝට්‌ටුවලින් දඩ මුදලක්‌ අයකරගනු ලබන අතර අත්අඩංගුවට ගනු ලබන ධීවර යාත්‍රා නිදහස්‌ කර ගැනීමට ඒවායේ නියම අයිතිකරුවන් මෙරටට පැමිණීම අනිවාර්ය කිරීමට ද ඇමැතිවරයා තීරණය කර තිබේ.

අනවසර විදේශ ධීවර බෝට්‌ටු මගින් මසුන් මැරීම නිසා මේ වන විට මෙරට ධීවරයන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද වාර්තා වේ.

විශේෂයෙන්ම ඉන්දියානු ධීවර යාත්‍රා මෙරටට අනවසරයෙන් පැමිණ ධීවර කටයුතුවල නිරත වන අතර එවැනි ඉන්දීය ධීවර යාත්‍රා 114 ක්‌ මෙරට අත්අඩංගුවට ගෙන ඇති බවත් හා ඒවා විශාල ප්‍රමාණයේ ට්‍රෝලර් යාත්‍රා වීම නිසා නවතා තැබීමට මෙරට ධීවර වරායන්හි ඉඩ පහසුකම් ද නොමැති තත්ත්වයක්‌ උදා වී තිබේ.