FAST NEWS

24×7 Around the Globe

51 වැනි සේනාංකය ඉදිරිපිට ශිවාජිලිංගම් මහවිරු දිනය සමරයි… (වීඩියෝ)

 

යුද්ධයෙන් මියගිය හිටපු කොටි සාමාජිකයින් සිහිකරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කෝපායිහි පිහිටි යුද හමුදා 51 වන සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී සහ යාපනය නල්ලූර් හි පිහිටි දිලීපන්ගේ සමරු ඵලකය අසලදී ඊයේ (27) මහවිරු දිනය සැමරීය.

කොටි සංවිධානයේ මහවිරු සැමරුම් ස්ථානයක් කෝපායිහි පිහිටි යුද හමුදාවේ 51 වන සේනාංක මූලස්ථානය ඉදිකර ඇති බවත් මේ නිසා මෙම හමුදා කඳවුර ඉදිරිපිට  ඉටිපන්දම් හා පහන් දල්වමින් මහවිරු දිනය සමරනු ලැබූ බවත් සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

1982 වසරේ නොවැම්බර් 27 වැනිදා සවස 06.05ට කොටි සංවිධානයේ පළමු සාමාජිකයා වූ ශංකර් නමැත්තා මරණයට පත්වීමත් කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපතද එදිනට යෙදීමත් මත 1989 වසරේ සිට මහවිරු සතිය නමින් නොවැම්බර් මස 21 වැනිදා සිට 27 වැනිදා තෙක් යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින්ට උපහාර පුදකරමින් මහවිරු දින සැමරුම් සිදු කෙරිණි.

මීට අමතරව ඊයේ (27) වැනිදා උතුරු පළාතේම මහවිරු දින සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් පැවැති අතර යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පමණක් ප්‍රධාන මහවිරු සැමරුම් 30ක් සිදුකර තිබේ.

යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවල උතුරේ දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන විසින් මහවිරු සැමරුම් සිදුකරනු ලැබූ අතර දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ, ඉලංගෙයි තමිල් අරසු කච්චි කාර්යාලයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ කාර්යාලයේ මෙන්ම මානිප්පායි, කෝපායි, වඩුකෝඩෙයි, සූදූමලෙයි ආදී ප්‍රදේශවල දී ද මහවිරු සැමරුම් සිදු කෙරිණි.

මෙම මහවිරු දින සැමරුම් අතරින් ප්‍රධානම සැමරුම, කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කණකපුරම් සුසාන භූමියේදී සිදු කර ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්..